පබාගේ අලකලංචිය නිසා ප්‍රභූ ආරක්‍ෂාවට අලුත් ක්‍රමවේදයක්‌!

උදා වී තිබූ අයහපත් කාලගුණික තත්ත්වය පහව ගොස්‌ පසුගිය සතියේ ආරම්භයත් සමඟම හොඳින් හිරු පායන්නට පටන් ගත්තේය. වැස්‌ස පහව ගියේය. සුළං තුනී වී ගියේය. සුපුරුදු උණුසුම රට පුරා දැනෙන්නට පටන් ගත්තේය.

කාලගුණික වශයෙන් සුපුරුදු උණුසුම රට තුළ දැනෙන්නට වූවා සේම, රට පුරා අයහපත් කාලගුණය නිසා යටපත්ව තිබූ දේශපාලන උණුසුම ද පසුගිය සතියේ ආයෙත් මතුවී දැනෙන්නට පටන් ගෙන තිබිණි. ඒ තුළ වඩාත් ඉස්‌මතු වී පෙනෙන්නට වූයේ පුංචි ඡන්දයේ අලුත්ම අලුත් උණුqසුමයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද වස්‌සාන කරදර හිරිහැරවලින් පසු යළිත් අලුතෙන් වැඩ පටන් ගත්තේ පුංචි ඡන්දයට අවශ්‍ය සංවිධාන කටයුතුවල නිරත වෙමිනි.

ඉකුත් 12 වැනිදා සෙනසුරාදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඛෙත්තාරාම ක්‍රීඩංගණ සංකීර්ණයට ගියේය. නවීකරණ කටයුතුවලින් පසු ඛෙත්තාරාම ක්‍රීඩාංගණය මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරිණි.

අනතුරුව විශේෂ රාජකාරිවලින් තොරව අරලියගහ මැදුරට වී කාලය ගත කළ ජනාධිපතිතුමා සවස තවත් විශේෂ රාජකාරියකට ගියේය. ඒ එම දිනවල ලංකාවට පැමිණ සිටි ඉන්දියාවේ හා පාකිස්‌තානයේ කථානායකවරියන් දෙදෙනා හමුවී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමටය.

ඉරිදා දිනයේ ජනපතිතුමන්ට විශේෂ රාජකාරි කිසිවක්‌ නොවීය. සඳුදා දිනයේ ද උදේ වරුවේ තිබුණේ විශේෂ අක්‌තපත්‍ර ප්‍රදානයන් කිහිපයකි. සවස ශ්‍රී ලනිපයට සම්බන්ධ වෘත්තීය සමිතිවල නියෝජිත පිරිසක්‌ ජනපතිතුමා හමුවීමට පැමිණ සිටියෙන් ඔවුන් සමඟ සාකච්ඡාවක්‌ කළේය. ඊටත් පසුව සිරිමහ බෝධියේ විශේෂ අංකුරය ඉන්දියාවට පිටත් කර හැරීමට බාරදීමේ උත්සවයට ජනපතිතුමා සහභාගි වූයේය.

එස්‌. එෆ් හමුව.

මේ අතරතුර පසුගිය 11 වැනිදා සිකුරාදා එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයන් පිරිසක්‌ සරත් ෆොන්සේකා බැලීමට වැලිකඩ හිරගෙදරට ගොස්‌ සිටියහ. රනිල්, කරු, තිස්‌ස, මංගල හා දොස්‌තර ජයලත් ද ඒ පිරිසෙහි සිටියහ. මේ පිරිස පැය 1 1/2 කටත් වැඩි කාලයක්‌ ෆොන්සේකා සමඟ කතා බහ කරමින් සිටි අතර රනිල් ඔහු අමතා මෙසේ කීවේය.

මම ලබන සතියේ බ්‍රසල්ස්‌ නුවරට පිටත්ව යනවා. මම හිතාගෙන ඉන්නවා මේ පාර ඔයාගේ ප්‍රශ්නය ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සම්මේලනයට ඉදිරිපත් කරන්න. ඉන් අනතුරුව පිරිස කතා බහ කළේ සරත් ෆොන්සේකා නිදහස්‌ කරවා ගැනීමට ඉදිරියේදී අරගන්නා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග ගැන ය.

ඊට පසුදා එනම් සෙනසුරාදා උදෙන්ම රනිල් පළාත් පාලන ඡන්දයේ සංවිධාන කටයුතුවල වැඩ පටන් ගත්තේය. ඔහු මේ කටයුත්ත දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් බෙදා වෙන් කර ඒ ඒ ප්‍රදේශවලට වෙන වෙනම නියෝජිතයන් යවමින් දිස්‌ත්‍රික්‌ සංවිධාන රැස්‌වීම් සංවිධානය කළේය.

මේ අනුව සෙනසුරාදා උදේ තිස්‌ස හා කරු කෑගල්ල ප්‍රදේශයට ගොස්‌ සිටියහ. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ සියලුම අපේක්‍ෂකයෝ කෑගලු පුරහලට කැඳවන කටයුත්ත කබීර් හෂීම් අකුරටම ඉටුකර තිබිණි. මේ දෙදෙනා ඒ රැස්‌වීම නිමා කර ගියේ පින්නවලටය. පින්නවල රංජිත් සමරසිංහගේ නිවසේ මේ දෙදෙනා වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කර තිබිණි.

සෙනසුරාදා සවස රනිල් තවත් විශේෂ කටයුත්තක යෙදී සිටියේය. ඒ වූ කලී ආසියානු කලාපයේ පාර්ලිමේන්තු සංගමයේ තෙවැනි සැසිවාරයේ රැස්‌වීම ඇමතීමය. මේ දිනවල ඒ සඳහා ආසියානු කලාපයේ රටවල් රැසකම කථානායකවරු, මන්ත්‍රීවරු හා විශේෂ නියෝජිතයෝ රැසක්‌ ලංකාවට පැමිණ සිටි අතර, රනිල් ඔවුන් අමතා ලංකාවේ ආණ්‌ඩුවේ අඩුපාඩු විවේචනය කරමින් දේශනය කළේ හිල්ටන් හෝටලයේදීය. අයහපත් පාලනය හා රාජ්‍ය දූෂණය ජනතාවගේ දුකට ප්‍රධාන හේතුවයි යන මැයෙන් ඔහු සිය දේශනය කළේය.

ලංකාවේ මේ තත්ත්වය වළකා ගැනීමට ගත හැකි පියවරක්‌ ලෙස රනිල් පෙන්වා දුන්නේ පොදු ව්‍යාපාර කාරක සභාවේ හා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ තනතුරු විපක්‍ෂය වෙත පවරා දීමය.

රනිල් මේ අයුරින් ඒ වන විට හතරවටින්ම රජයට පහර දෙන ක්‍රමවේදය ආරම්භ කර තිබිණි.

පසුගිය සතිය තුළත් දේශපාලන ලෝකයේ දැක ගත හැකි අනෙක්‌ කාරණය වී තිබුණේ සජිත් කණ්‌ඩායමේ නිහඬ බවයි. ආරම්භයේදී හා හෝ කියාගෙන නායකත්වය වෙනුවෙන් පක්‍ෂ අභ්‍යන්තරයේ සටන් වැදී සිටි සජිත් පිලේ සියලුම දෙනා මෙන්ම සජිත් ද මේ මොහොතේ අනුගමනය කරන නිහඬ පිළිවෙත කාට කාටත් ප්‍රහේළිකාවක්‌ ව තිබිණි.

විදේශ සාදය

සෙනසුරාදා දිනයේ රත්නපුර කිරිඇල්ල විද්‍යා රිසෝට්‌ නිවාඩු නිකේතනයට විශේෂ දවසක්‌ විය. ඊට හේතුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සේවක සේවිකාවන් විශාල පිරිසක්‌ එදා එතැනට පැමිණ දවස පුරාම විනෝදයෙන් කෙළිදෙලෙන් කාලය ගත කිරීමය.

විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ වාර්ෂික සුහද හමුව එදා එතැන පැවැත්වුණු අතර සේවක සේවිකාවන් ද පැමිණ සිටියේ පවුල් පිටිනි.

අමාත්‍ය ඩිලාන් පෙරේරා ද එදා දවස පුරාම කාලය ගත කළේ තම අමාත්‍යාංශයට අයත් විදේශ සේවා කාර්යාංශයේ සේවක පිරිස සමග එතැනය. කමින් බොමින් ප්‍රීතිවෙමින් එක එක ක්‍රියාවලට සහභාගි වෙමින් ඩිලාන් ද ඇමැති උණුසුම අතහැර සහෝදර උණුසුමින් බැඳී ප්‍රීතිවනු පෙනිණි. ඇතැම් සේවක පිරිස්‌ පැමිණ ඩිලාන්ට මේ හැසිරීම ගැන තුති පුද කළේ මෙවන් සාදයකට අදාළ ඇමැතිවරයා පැමිණ මෙසේ සේවකයන් හා කාලය ගතකර ඇත්තේ වසර 18 කට පසුව බව මතක්‌ කරමිනි. ජාතික සේවක සංගමය ඇතුළු සියලු වෘත්තීය සමිතිවල පිරිස්‌ද මෙතැන සිටීම විශේෂත්වයකි.

තිස්‌සට 23 යි

13 වැනිදා ඉරිදා එක්‌සත් ජාතික පක්‍ෂයේ මුල්ම පළාත් පාලන ප්‍රචාරක රැලිය මැද මහනුවර නගරයේදී ඇරැඹිණි. කරු, තිස්‌ස, රවී හා ලකී කිරිඇල්ල ඊට සහභාගි වී සිටියහ. ලොකු සෙනඟක්‌ සහභාගිවී සිටි අතර රැස්‌වීම ද සාර්ථක ලෙස පැවැත්විණි.

මේ රැස්‌වීම ඉවරකර තිස්‌ස තම ආසනයේ හසලක ප්‍රදේශයට ගියේය. හසලක ශ්‍රී පුෂ්පාරාමයේ එදින විශේෂ බෝධි පූජාවක්‌ පැවැත්විණි. තිස්‌ස මන්ත්‍රීවරයකු ලෙස මේ ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී වසර 23 ක්‌ සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම උත්සවය හා බෝධි පූජාව සංවිධානය කර තිබිණි. මෙම උත්සවයේදී සිදුවුණු විශේෂ සිදුවීම වුණේ තෝරාගත් ශිෂ්‍යයන් පිරිසකට තිස්‌සගේ අරමුදල් පරිත්‍යාගයෙන් ශිෂ්‍යත්ව රැසක්‌ පිරිනැමීය.

සඳුදා දිනයේ උදෙන්ම තිස්‌ස ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂ නායකයෝ පිරිසක්‌ රාජගිරිය මැතිවරණ කාර්යාලය වෙත ඇදී ගියේ මැතිවරණ කොමසාරිස්‌වරයා හමුවී විශේෂ සාකච්ඡාවක්‌ හා පැමිණිලි කිහිපයක්‌ ඉදිරිපත් කිරීමට බලාගෙනය. සාකච්ඡාව ඉතා සාර්ථක විය. උතුර නැගෙනහිර ප්‍රදේශවලට අදාළ ප්‍රශ්න මෙහිදී එජාපය ඉදිරිපත් කළ අතර මැතිවරණ කොමසාරිස්‌ ඒ සියල්ල සිය දැඩි අවධානයට ලක්‌ කරමින් විසඳන්නට බාර ගත්තේය.

ජවිපෙ

වෙන මැතිවරණවලදී ගමේ වැඩවලින් කැපී පෙනෙන වෙනසක්‌ පෙන්වනු ලබන්නේ ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ව්‍යාපාරයයි. නමුත් මෙවර ජවිපෙය යම් මට්‌ටමකින් සිය දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාර කරන අයුරක්‌ නොපෙනිනි. එහෙත් ජවිපෙ ක්‍රියාකාරීන් ගම් මට්‌ටමින් ගෙන් ගෙට යැමේ ව්‍යාපාරය නම් හොඳින් කරගෙන යන බව පෙනෙන්නට තිබිණි..........

එහෙනම් අපි ආණ්‌ඩුවට පොඩ්ඩක්‌ රිද්දමු..... බලපෑමක්‌ කරල බලමු.... යන ආකාරයේ අරමුණු ඉදිරිපත් කරමින් ඉතා සූක්‍ෂම ලෙස ගෙයින් ගෙට ගොස්‌ නිවැසියන් ආමන්ත්‍රණය කරනු පෙනිණි........

ගංවතුර ආධාර

මේ අතරතුර 15 වැනිදා අඟහරුවාදා ජනාධිපති මහින්ද තවත් ලොකු කටයුත්තකට අත ගැසුවේය. එය නම් ගංවතුරෙන් විනාශ වී ගිය වැව් අමුණු පිළිසකර කිරීමට හා අනාථවූවන්ට සහන සලසන්නට විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ පිහිටුවීමයි. මෙසේ පිහිටුවන ලද ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකාය සමග සාකච්ඡාව 15 වැනිදා අඟහරුවාදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ගංවතුරින් විනාශ වී ගිය ප්‍රදේශවල ඇමැතිවරු, මහජන නියෝජිතයෝ, දිසාපතිවරු හා අදාළ නිලධාරීහු මේ සාකච්ඡාවට පැමිණ සිටියහ.

මෙහිදී ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්‌ දුන්නේ මේ කටයුත්ත සඳහා අධ්‍යයන කටයුතු හමාර කර ක්‍රමවේද සකසා කඩිනමින් වැඩ පටන්ගන්නා ආකාරය ගැනය.

නිදහස

මෙවර කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරයේ නවම් මහ පෙරහැර පුණ්‍යකර්මය වෙනදාටත් වඩා මහ ඉහළින් කෙරුණේ ඊට රාජ්‍ය අනුග්‍රහය ද නොමඳව ලැබී තිබුණු නිසාය. ඉකුත් 16 වැනිදා සවස පෙරහැරට මංගල හස්‌තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමට ගියේ ජනාධිපතිතුමාය.

ඊට පසුදා එනම් දුරුතු පුන් පොහෝදා පෙරහැරේ අවසාන දිනයේ පෙරහැර කටයුතුවල ප්‍රධාන අමුත්තෝ දෙදෙනෙකු සිටියහ. ඒ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහය. ඊට අමතරව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, එජාප මන්ත්‍රී රවී කරුණානායක, ගෝඨාභය රාජපක්‍ෂ මැතිනිය, බැසිල් රාජපක්‍ෂ මැතිනිය, ධනසිරි අමරතුංග ඇතුළු ප්‍රභූහු සහභාගිව සිටියහ.....

මේ මොහොතට රවී කරුණානායක සුදු සරමක්‌ සහ කමිසයක්‌ හැඳ පැමිණ සිටීම කැපී පෙනිනි. එය දුටු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විහිළු කරන්නට ද පටන් ගත්තේය.

යූ.ඇන්.පී. එකේ ජාතික නායකයා වෙන්න තරගෙ තියෙන්නේ රනිලුයි සජිතුයි අතරේ. දැන් බලනකොට මෙයත් හිමිහිට හිමිහිට තරගෙට ඇවිල්ලනේ... කෝක වුණත් ඔයාට ටයිකෝට්‌වලට වඩා සරම බැනියම ලස්‌සනයි.....

ලලිත්ලා එසේ කියද්දී රවී ඊට සිනාසුනා හැර වැඩි යමක්‌ කියන්නට ගියේ නැත....

උත්සවය අමතා පන්සලේ ප්‍රධාන දායකයකු ලෙස විපක්‍ෂ නායක රනිල් හොඳ කතාවක්‌ කළේය....

අද ජනතාව පාරට තොටට ඇවිල්ලා බියක්‌ සැකක්‌ නොමැතිව මේ වගේ පෙරහැරවල් බලන තත්ත්වයක්‌ මේ රටේ නැහැ. යුද්ධය ඉවරයි කියල කියනවා. සාමය ආවා කියල කියනවා. ප්‍රශ්න ඉවරයි කියනවා. රට දියුණු වෙනවා කියල කියනවා. ඒත් තවම මිනිසුන් බියෙන් සැකෙන් මිරිකිලා. ප්‍රශ්නවලින් මිරිකිලා. ජනතාවට බඩුමිල ජීවන වියදම දරා ගන්න බැහැ. ප්‍රශ්න ඉවසන්න බැහැ. එහෙම මිරිකිලා පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට මේ වගේ පෙරහැරවල් බලන්න මානසික විවේකය හරි අඩුයි.

රනිල් කළේ සියල්ල අසුබවාදීව දකින ආකාරයේ කතාවකි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්තුමන්ටත් මෙහිදී කතාවක්‌ දෙන්ට තරම් උත්සව සංවිධායකයෝ ප්‍රඥසම්පන්න වූහ.

ඔහු රනිල්ගේ කතාවට කදිම උත්තරයක්‌ද දුන්නේය.

මේ රටේz මේ වගේ පෙරහැරවල් බලන්න, ජනතාවට පාරට බැහැල නිදහසේ ඇවිදින්න, විනෝදවෙන්න දැන් නිදහසක්‌ නැහැ කියලා සමහරු විහිළු කරනවා. ඒ සඳහා කවදාත් තිබුණේ නැති නිදහසක්‌ රටේ දැන් තියෙනවා. අද ජනතාව සැකෙන් බියෙන් නිදහස්‌. බලන්න මිනිස්‌සු කොච්චර පාරට බැහැලා විනෝද වෙනවද. ගමන් බිමන් යනවද. ඒත් ඒවා නොදකින අයත් ඉන්නවා. ඔය ප්‍රශ්නයට හොඳම උත්තරය තමයි මේ දවස්‌වල ලංකාවට ඇවිල්ල ඉන්න සංචාරකයෝ....

ගෝඨාභය ඒ කතාව කරගෙන යන අතරතුර විපක්‍ෂ නායක රනිල් සභාවෙන් ඉවත්ව යන්නට ගියේය. රවී කරුණානායක ද ඔහු සමගම පිටව ගියේය...

අවසානයේ එතන සිටි එකම දේශපාලනඥයා ධනසිරි අමරතුංග පමණක්‌ම විය. ගෝඨාභය ඔහු කතා කොට ළඟ වාඩි කරවා ගත්තේය....

මම අද මුළු පෙරහැරම බලනවා. ඔයත් මෙතනම ඉන්න.... ගෝඨාභය කීවේය. ගෝඨාභය විශේෂ පීඨිකාවේ වාඩිවී පෙරහැර බලමින් සිටි අතර පෙරහැර ගැන විශේෂ විස්‌තර සියල්ල ඔහුට විස්‌තර කර කීවේ ධනසිරි අමරතුංගය..

ධනසිරි කොහොමද මෙච්චර විස්‌තර මේ පෙරහැර ගැන දන්නේ.

ඇයි සර් මම මෙහේ අවුරුදු 15 ක්‌ම බස්‌නායක නිලමේ වෙලා හිටියානේ. මේ පාර නැහැ. ලබන පාර ඉඳල ආයෙත් පටන් ගන්නවා....

පෙරහැර පැය 3 ක්‌ම වගේ වාඩිවී නැරැඹූ ගෝඨාභය අවසානයේ තේ පානය කර යන්නට ගියේ පොඩි හාමුදුරුවන්ගේ ආශිර්වාද මධ්‍යයේය.....

පබා රෝහලේ

පසුගිය සතියේ අප දේශපාලන කතාබහ උණුසුම් කළ තවත් විශේෂ සිදුවීමක්‌ වූයේ පබාගේ අලකලංචියයි. පබා යනු පසුගිය කාලයේ රූපවාහිනි නාලිකාවක ප්‍රචාරය වූ බොළඳ ටෙලිනාට්‍යයක නමකි. එහි ප්‍රධාන නිළි චරිතය රඟපෑ උපේක්‍ෂා ස්‌වර්ණමාලි නම් නිළියද පසු කලෙක පබා නමින් සමාජයේ ජනප්‍රිය වූයේ ඕ පසුකාලීනව දේශපාලනයට ද පිවිසීම හේතුකොටගෙන බව නිසැකය. ටෙලිනාට්‍යය නිසා අමන්දානන්දයට පත්ව සිටි දුරදිග නොබලන ජනතාව පබා නමින් බෞතීස්‌ම ලබා සිටි උපේක්‍ෂා ස්‌වර්ණමාලි නම් නිළියට පසුගිය මහ ඡන්දයේදී ඉවක්‌ බවක්‌ නොමැතිව ඡන්දය දුන්හ. ඕ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් ජයග්‍රහණය කළේ එජාප දිස්‌ත්‍රික්‌ ලැයිස්‌තුවේ සිටි ප්‍රවීණ දේශපාලනඥයෝ කිහිපදෙනකු ද අභිබවමිනි.

එය පරණ කතාවකි. පබා පිළිබඳ පසුගිය සතියේ ප්‍රචාරය වූ අලුත්ම කතාව වූයේ උපේක්‍ෂා ස්‌වර්ණමාලි නම් මන්ත්‍රිනිය දැඩි පහරකෑමකට ලක්‌වී තුවාල ලබා රෝහල්ගත කර ඇති බවකි. මේ ආරංචිය ලැබුණු සැනින් වඩාත් කලබල වූයේ මාධ්‍යවේදීහුය. ඔවුහු ආරංචිය පස්‌සේ දිව යන්නට වූහ. උපේක්‍ෂා මන්ත්‍රිනියගේ දුරකථනයට වැල නොකැඩී ඇමතුම් ගලා එන්නට විය...

ඒ මොහාතේ එම දුරකථනය තිබුණේ උපේක්‍ෂා මන්ත්‍රිනියගේ සැමියාගේ අතේය. ඔහු මාධ්‍යවේදීන්ට උත්තර දුන්නේය.

ඔය ආරංචිය බොරුවක්‌. උපේක්‍ෂා ෂූටින්වලට ගිහින්. එයාට කිසිම කරදරයක්‌ නැහැ. ඔහු උත්තර දුන්නේය.

එහෙත් කුණු රස හොයන මඩ වෙබ් අඩවි කාරයන්ගෙන් හා ඕපා දූප පත්තරකාරයන්ගෙන් පබාට ගැලවීමක්‌ ලැබුණේම නැත. ඔවුහු සිද්ධිය පිටුපස හඹා ගියහ. උපේක්‍ෂා ස්‌වර්ණමාලි මන්ත්‍රිනිය පසුගිය වැලන්ටයින් දිනය දා තවත් සහෝදර නළුවකු සමඟ සාදයකදී නර්තනයක යෙදී ඇති බවත් ඉන් කෝපයට පත් ඇයගේ සැමියා ඇයට පහර දී ඇති බවත් යම් යම් වෙබ් අඩවි ඒ වන විටත් වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් මන්ත්‍රීතුමිය පහරකෑමකට ලක්‌ව රෝහල්ගතකර ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග මගින් මාධ්‍ය වෙත වාර්තා වීම වසන් කරන්නට නම් මන්ත්‍රීතුමියගේ සැමියාට නොහැකි විය. ඒ සමඟම ඇය පහරකෑමට ලක්‌ වූයේ කාගෙන්ද, කෙසේද යන ප්‍රශ්නවලට වගකිවයුතු ආරක්‍ෂක අංශ වෙත නිවැරැදි කරුණු වාර්තා වූයේ ඇයගේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනාගෙන්ය. ඇය පහරකෑමට ලක්‌වූයේ අන් කවරකු අතින්වත් නොව, ඇගේ සැමියා අතින්ම බව ඔවුහු ඉහළ නිලධාරීන් වෙත ප්‍රකාශ කළහ. උපේක්‍ෂා ස්‌වර්ණමාලි යනු නිකන්ම නිකන් නිළියක්‌ නොව, මහජන මන්ත්‍රීවරියක්‌ බැවින් ඇයගේ ආරක්‍ෂාවට ක්‍රියා නොකළේ මන්ද යන ප්‍රශ්නය ද මේ පොලිස්‌ නිලධාරීන් වෙත එල්ල වූයේ රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවක්‌ ද විලසිනි.

මේ ගුටිබැට හුවමාරුව පවුල් ප්‍රශ්නයක්‌ නිසා මුලදී තමන් මැදිහත් නොවූ බවත්, ප්‍රශ්නය දුරදිග යැමේදී මන්ත්‍රීතුමියගේ ජීවිත ආරක්‍ෂාව තම වගකීම බැවින් මැදිහත්ව ක්‍රියාකර ඇය රෝහල වෙත රැගෙන යැමට ක්‍රියා කළ බවත් ඔවුහු වාර්තා කළහ.

මේ වෙලාවේ පබාගේ ප්‍රශ්නය නිසා මැති ඇමැති මන්ත්‍රී ආරක්‍ෂක අංශ මුහුණ දී ඇත්තේ උභතෝකෝටික ප්‍රශ්නයකටය. ගෙදර සැමියා හා බිරිඳ රණ්‌ඩු සරුවල් වන විටදී මහජන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙලෙසද යන්න ගැන ඔවුන්ගේ නීතිරීති ක්‍රමවේදවල මෙතෙක්‌ කරුණු ගොනු වී නොමැති නිසා ඔවුහු ඒ පිළිබඳ විශේෂ උපදෙස්‌ පතන්නට පටන්ගෙන ඇති බව ද හෙළිවිණි.

කෙසේ හෝ අවසානයේ එක දෙයක්‌ වනු ඇත. එනම් මැති ඇමැති මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට ක්‍රියා කරන ආරක්‍ෂක අංශවලට මින් ඉදිරියේදී ඔවුන්ට පිටස්‌තරයන්ගෙන් පමණක්‌ නොව, ගෙදර සිටින සැමියා හෝ බිරිඳගෙන් පවා ආරක්‍ෂා කර ගැනීමට නිසැකයෙන්ම සිදුවීමය.

කැබිනට්‌

බදාදා දිනයේ මෙවර සුපුරුදු පරිදි කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම පැවැත්වුණේa නැත. කැබිනට්‌ රැස්‌වීම මෙවර තිබුණේ අඟහරුවාදා හවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. එහෙත් මෙවර වෙනදා තරම් උණුසුමක්‌ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී නොතිබිණි.

එහෙත් වෙනදා කැබිනට්‌ රැස්‌වීම පැවැත්වෙන වේලාවේ, එනම් බදාදා හවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ තවත් විශේෂ රැස්‌වීමක්‌ නම් තිබිණි. ඒ වූ කලී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සියලුම ආසන සංවිධායකවරු, සියලුම පළාත් සංවිධායකවරු හා සියලුම පළාත් සභා මන්ත්‍රීවරු ගෙන්වා කරන ලද සාකච්ඡාවකි. රට පුරාම සිටින මේ නියෝජිතවරු මෙම රැස්‌වීම සඳහා මහත් උනන්දුවෙන් පැමිණ සිටියහ.

මේ පිරිස අමතා කරන ලද සාකච්ඡාවේදී මුලින්ම පිළිගැනීමේ කතාව කළේ ශ්‍රී ලනිපයේ ලේකම් මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු ඉතා තද හා දැඩි කතාවක්‌ මෙහිදී කරනු ලැබුවේය...

මේ කවර දිනකවත් නැති තරමට නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප වන අයුරින් නාමයෝජනා සකස්‌ කිරීම ගැන ඔහු තදින් දොස්‌ පවරනු ලැබුවේ අදාළ ආසන සංවිධායකවරුන්ට හා ඒවා පරීක්‍ෂා කළ නීතිඥවරුන්ට ය.

සමහර සංවිධායකවරු එක අපේක්‍ෂකයකුට අකමැතියි. නමුත් එයාල වැඩ කළේ ඒ අපේක්‍ෂකයා නිසා මුළු නාමයෝජනා ලැයිස්‌තුව ම කැන්සල් වෙන විදියටයි. අපි මේ කියන සංවිධායකයන් හොඳින් අඳුනා ගෙන ඉවරයි. ඡන්දෙ ඉවර වුණු ගමන් එයාලට විරුද්ධව විනය පරීක්‍ෂණ තියන්න ක්‍රියා කරනවා. .... සමහරු මෙහෙම කරල තියෙන්නේ අත්වැරැදීම්වලින් නොවෙයි. හිතමතාම කරපුවත් තියෙනවා. සමහර අයගේ නොසැලකිල්ල නිසා මේවා සිදුවෙලා තියෙනවා. තවත් සමහරු මේ වගේ වගකිවයුතු වැඩක්‌ වෙන වෙලාවල අහලකවත් ඉඳලත් නැහැ. ඉතාම නරක ප්‍රවණතාවක්‌ මේක. මේවාට සමාවක්‌ නම් නැහැ. සමහර අය ලැයිස්‌තු දීල තියෙන්නේ පක්‍ෂයේ ලේකම්ගේ අත්සන් නැතුව වීමයි පුදුමෙ.....

මෛත්‍රිගේ කතාවෙන් පසු ජනාධිපතිතුමාගේ කතාවේදී ද තද දෝෂාරෝපණයක්‌ සිදු කෙරිණි...

මේක සමහරු සෙල්ලමකට අරගෙන.... ඒත් මේක සෙල්ලමක්‌ නොවෙයි මතක තියාගන්න. වෙනදා මැතිවරණ ජයග්‍රහණය කළා වගේ ලේසියෙන් මේ පාර ජය ගන්න බැහැ. විපක්‍ෂය නිදාගෙන ඉන්නේ කියල හිතාගෙන වැඩ කරන්න එපා. අද විපක්‍ෂය හරිම වේගයෙන් වැඩ කරනවා. විපක්‍ෂය දැනටමත් දිස්‌ත්‍රික්‌ සංවිධායක රැස්‌වීම් තියල සංවිධායකයෝ අමතලා ඉවරයි.

අපේ දිස්‌ත්‍රික්‌ නායකයෝ අද විශාල ප්‍රමාණයක්‌ තවම දිස්‌ත්‍රික්‌කයටවත් ගිහිල්ලා නැහැ. ගම්පහ, හම්බන්තොට, මාතර, පොළොන්නරුව, බදුල්ල කියන දිස්‌ත්‍රික්‌ක පහ ඇරුණාම නායකයෝ තවම මෙහේ. දිස්‌ත්‍රික්‌කවල කිසි දෙයක්‌ කරල නැහැ. ආසන සංවිධායකවරු 40 දෙනෙක්‌ ඉන්නව තවම තමන්ගේ ආසනවලටවත් නොගියපු. මේ විදියට වැඩ කරනවා නම් තම තමන් දැනට දරන ඔය ඇමැති උප ඇමැති තනතුරු ගැන ආශාව අත්හරින්න වේවි. අනාගතයේදී වගකීම් දෙද්දීත් අපි මේ දේවල් හොයල බලනවා.

කරුණාකරල ගම්වලට යන්න. ගිහින් අපේක්‍ෂකයෝ හම්බ වෙන්න. ඒ අයත් එක්‌ක කතා කරන්න. භේදයකින් තොරව ඒ අයට දිනවන්න උදව් කරන්න. අමතක කරන්න එපා ඔබ තමුන් අද ඔය තනතුරුවල ඉන්නේ ඒ අපේක්‍ෂකයෝ ගම් මට්‌ටමින් තමුන්ට වැඩ කරපු ආධාර කරපු නිසා බව.

යූ. ඇන්. පී. එකේ ඉඳල ආවයි කියල නොසලකා හරින්න එපා. ඒ අය එදා ආවේ අපිට උදව් කරන්න. අද එයාලත් අපේ පක්‍ෂයේ සාමාජිකයෝ. පරණ කෝන්තර අමතක කරල එකතුවෙලා වැඩ කරන්න. මොකද මේ මැතිවරණය හිතන තරම් ලේසි නැහැ. ජනාධිපතිවරයා මෙසේ දීර්ඝ ලෙස කතා කරමින් දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කතා කර කීවේ ආසන සංවිධායකවරුන්ගේ හා ඇමැති ගොල්ලන්ගේ නොසැලකිල්ල ගැනය..........

මම මේ පාර වෙනදා වගේ රැස්‌වීම්වලට යන්නේ නැහැ. ලොකු විශාල රැස්‌වීම් නැහැ. සම්මන්ත්‍රණ තමයි මේ පාර වැඩිපුරම කරන්නේ ඔයගොල්ලොත් එක එක්‌කෙනාට මනාප ගොඩගහන්න යන්නේ නැතුව පොදුවේ වැඩ කරන්න.

මේ අතරතුර සරත් වීරසේකර නැඟිට ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළේය.

ජනාධිපතිතුමනි, අපේ පළාතේ එක සමෘද්ධි නියාමකයෙක්‌ අපේ පක්‍ෂයෙන් ඡන්දෙ ඉල්ලන්න උත්සාහ කළා. ඔහුට නාම යෝජනා ලැබුණේ නැහැ. දැන් ඔහු ස්‌වාධීනව ඡන්දේ ඉල්ලනවා. අපේ ඉන්න ජ්‍යෙෂ්ඨ ඇමැතිකෙනෙක්‌ අර ස්‌වාධීනව ඉල්ලන අපේක්‍ෂකයාට එළිපිට උදව් කරනවා. පසුගිය දිනක ඔහුත් එක්‌ක ප්‍රසිද්ධියේ පෙළපාලියකත් ගියා ඔහුට ආධාර කරමින්."

ජනාධිපතිතුමා විමතියට පත්ව ඒ ගැන හොයන්නට නිලධාරීන්ට උපදෙස්‌ දුන්නා මිස කලබල වූයේ නැත.

අපේ දෙහිවල - ගල්කිස්‌ස ඡන්දය මේ පාර නැහැනේ. මේ වෙලාවේ අපි කොහේද වැඩ කරන්නේ......." ධනසිරි අමරතුංග විමසා සිටියේය.

ධනසිරි ඉතින් තමන්ට ළඟම ආසනේට ගිහින් වැඩ කරන්න. ඔයාට ළඟ බොරලැස්‌ගමුවනේ. එහාට වැඩ කරන්න.

"හොඳයි සර්..." කී ධනසිරි වාඩි වුණේය.

අනතුරුව ජනාධිපතිවරයා සියලුම දෙනාට රාත්‍රි ආහාරය භුක්‌ති විඳින්නට කතා කළේය. එහෙත් ජනාධිපති මහින්ද කෑම කන්නට එතැන රැඳී සිටියේ නැත. වෙනත් උත්සවයක්‌ සඳහා පිටත්ව ගියේය.

මේ අතරතුර චම්පික රණවක ඇමැතිවරයා සිටියේ ගාලු මුවදොර හෝටලයේ පැවැති උත්සවයකය. මෙය උත්සවයකටත් වඩා මාධ්‍ය සාකච්ඡාවක්‌ හෝ මාධ්‍ය සාදයක්‌ කිවහොත් නිවැරැදිය. එයට හේතුව මෙතනට පැමිණ සිටි ආරාධිතයෝ සැවොම මාධ්‍යවේදීන් වීමය.

චම්පික මේ පිරිස අමතා විශේෂ දේශනයක්‌ කරමින් කියා සිටියේ ලෝක අනාගතය හමුවේ ක්‍ෂය වෙමින් යන බලශක්‌ති සම්පත හා අපේ අනාතය ගැන ය. ක්‍ෂය වෙමින් යන බලශක්‌තීන් හමුවේ අපේ අනාගත බලශක්‌ති ඉල්ලුම සපුරා ගැනීමට යැමේදී අප අනුගමනය කළ යුතු ඉදිරි දැක්‌ම ඔහු මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ විස්‌තර කළේය.

"ජන සෙවණ" යනු විධිමත් නිවසක හිමිකම නොලැබුණු මෙරට පවුල් දශලක්‍ෂයකට ඒ හිමිකම ලබාදීම වෙනුවෙන් දියත් කරනු ලබන "ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම" යි.

එම "ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම" පසුගිය 16 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන, බේස්‌ලයින් පාරේ පිහිටි මිහිඳුපුරේදී ආරම්භ විය. එහිදී මහල් 21 කින් සමන්විත නිවාස සංකීර්ණක්‌ ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තැබිණ.

ජනාධිපතිතුමන් උත්සව භූමිය වෙත පැමිණියේ පෙරවරු 10.00 ට පමණය. ඒ වන විට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරු ද උත්සව භූමියට පැමිණ සිටියහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ඇරයුම පරිදි මිහිඳුපුර නිවාස සංකීර්ණ සමරු ඵලකය නිරාවරණය කළේය.

"මටත් කතාවක්‌ තිබුණා ජනාධිපතිතුමනි, මම ඒක ඉවත් කරන ලෙස දැනුම් දුන්නා. මට කතා අවශ්‍ය නැහැ. මට අවශ්‍ය උපරිම ආකාරෙන් මේ වැඩසටහනට සහයෝගය ලබා දීමටයි." ලසන්ත අලගියවන්න කීවේය.

"ලසන්තගෙන් මට ලැබෙන්නේ ප්‍රබල සහයෝගයක්‌. එවැනි සහයෝගයක්‌ නොමැතිව මෙවැනි වැඩසටහනක්‌ සාර්ථකව දියත් කිරීම දුෂ්කරයි." විමල් වීරවංශ අමාත්‍යවරයා තම නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබඳව එසේ කෘතඥතාපූර්වකව ජනාධිපතිතුමන් හා පැවසුවේය.

"මට හරි සතුටුයි. ඔය දෙන්නගේ සමඟිය හා අෙන්‍යාන්‍ය අවබෝධය ගැන. ඒක අනෙක්‌ අයටත් හොඳ ආදර්ශයක්‌. විෂයභාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හොඳ අෙන්‍යාන්‍ය අවබෝධයක්‌ තිබිය යුතුයි. එවිටයි ජනතා සේවයට උපරිම ඉඩකඩ සැලසෙන්නේ." ජනාධිපතිතුමන් ඉතා සතුටින් ප්‍රකාශ කළේය.

"ජන සෙවණ" තේමා ගීතය අනුව ප්‍රවීණ නර්තන ශිල්පී රවිබන්දු විද්‍යාපති මහතාගේ නර්තන කණ්‌ඩායම ඉදිරිපත් කළ නර්තනය හා තේමා ගීතය ද ජනාධිපතිතුමන් ඉතා සතුටින් රස විඳිනු දැක ගත හැකි විය. ජන සෙවණ තේමා ගීතයේ පද රචනය හා තනු නිර්මාණය සිදු වූයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින්මය.

නාගසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.