රනිල් කියන දේ රටේ ජනතාව
හරියටම තේරුම් ගත්තේ නැහැ!
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක

ප්‍රශ්නය - වර්තමාන දේශපාලනයේ කරුණු කාරණා පෙළ ගැනෙන ආකාරය, කාන්තාවක්‌ දේශපාලඥවරියක්‌ හැටියට ඔබ දකින්නේ කොහොමද? එමෙන්ම මෙවර කාන්තා නියෝජනයක ඉතාම අඩු තත්ත්වයක්‌ දකින්න ලැබෙන්නේ. ඒ ගැනත් සඳහන් කරමු.

පිළිතුර - එය ඉතාම නරක තත්ත්වයක්‌ මතුකරන බව තමයි කෙටි පිළිතුරක්‌ හැටියට කියන්න පුළුවන්. නමුත් මම මෙතනදී එය පුළුල්ව විග්‍රහ කළොත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කාන්තා නියෝජනය ගැන යමක්‌ සඳහන් කරන්න කැමැතියි. එතැනදී ප්‍රධාන පක්‍ෂ දෙකම ඒ ගැන දක්‌වා තිබෙන්නේ ඉතාම අඩු සැලකිල්ලක්‌. මම එජාපය නියෝජනය කරන්නේ.... මේක කිව්ව නිසා මට විනය පරීක්‍ෂණයක්‌ වුණත් එන්න බැරි නැහැ. ඒ වුණත් කමක්‌ නැහැ. හෙට නම් නාම යෝජනා බාර දෙන්නේ, ඊට පෙර දින රාත්‍රි 12.00 වනතුරු බොහෝ කාන්තාවන්ගේ නම් නාම යෝජනා ලැයිස්‌තුවල තිබුණා. ඊට පහුවෙනිදා වෙනකොට ඒ නම් නැහැ. සමහර කාන්තාවන්ට කිව්වා ඔවුන්ගේ පුතාගේ හෝ දුවගේ නම දාන්න කියලා. ඒ බොහෝ කාන්තාවන් අවුරුදු 20-25 කැපවීමෙන් පක්‍ෂය වෙනුවෙන් දරදිය ඇදපු අය. එවැනි තත්ත්වයක්‌ තුළ ඔවුනට එවැනි අසාධාරණයක්‌ සිදුවීම සෝචනීයයි.

ප්‍රශ්නය - පළාත් පාලන මැතිවරණ නීතිරීතිවල තිබෙන සංකීර්ණ බව ඊට බලපාන බවයි බොහෝ දෙනෙක්‌ කියන්නේ.

පිළිතුර - ඇත්ත ඒක හරි, ඒත් ඒ නීතිරීති නිසාම අවශ්‍යම ජනතා නියෝජනයට තැනක්‌ නැතිවෙනවා. තරුණ කොටස යම් ප්‍රතිශතයකින් දක්‌වා තිබුණත් එතැනදී කාන්තාව අනිවාර්යයය කරලා නැහැ. ඒ නිසා කාන්තාව වෙනුවට වෙනත් අය යෝජනා වුණු අවස්‌ථා බොහෝමයි. මම පෞද්ගලිකව දන්නවා සිරිකොතේ රෑ දොළහ වෙනකල් තමන්ගේ නම ඇතුළත් කරගන්න සමහර කාන්තාවෝ උත්සාහ දරපු හැටි. ආණ්‌ඩු පක්‍ෂයෙනුත් කාන්තා නියෝජනය අඩුයි. මේ තත්ත්වය නිවැරැදි විය යුතුයි. ඒ ඒ පක්‍ෂ තුළ මේ ගැන තීන්දු තීරණ ගැනීමේදී, කාන්තා නියෝජනය ගැන වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතු බව තමයි මගේ අදහස.

ප්‍රශ්නය - නමුත් ප්‍රධාන පක්‍ෂ රැසකම නියෝජනය කරන "කාන්තා චරිත" මේ ගැන හරි හඬක්‌ නඟපු බවක්‌ අපි දැක්‌කේ නැහැ.

පිළිතුර - මම පෞද්ගලිකව මේ ගැන සෑහෙන්න කතා කරලා තිබෙනවා. ඒ වගේම අනෙක්‌ අයත් විවිධ අවස්‌ථාවල ඒ ගැන කතා කරලා තියෙනවා. නමුත් ඒ හඬට නියම ප්‍රතිචාරයක්‌ නැහැ. පුරුෂ කේන්ද්‍රීය තීන්දු තීරණ ගැනීමේ බලය වැඩි මොහොතක අප අවට කලාපයේ රටවල් තුළ කාන්තා නියෝජනය සියයට තිස්‌තුනක්‌ ලෙස අනිවාර්ය කර තිබෙනවා. එය දැඩි නීතිරීති සහිත මුස්‌ලිම් කලාපයේ රටවල පවා පිළිගැනෙනවා. එය පංගු ක්‍රමයක්‌ ආසන ක්‍රමයක්‌ ලෙස ඒ රටවල ක්‍රියාත්මකයි. ඉන්දියාවේ මේක අවුරුදු 16 කට පෙර පටන් ගත්තේ. පළාත් පාලන ආයතන තුළ ගිය අවුරුද්දේ ඔවුන් පාර්ලිමේන්තුවේ, උත්තරීතර සභාවේ 33% ක්‌ ලෙස සම්මත කරගත්තා. බංග්ලාදේශය, නේපාලය ගත්තත් කාන්තා ප්‍රතිශතය 22% -23% ඉක්‌මවා ගිහින් තියෙනවා. මෙරට කාන්තා නියෝජනය තිබුණු පළාත් පාලන ආයතන ඉතා හොඳින් සිය ක්‍රියාදාමයන් දියත් කළ බවත් පැහැදිලිව සඳහන් කළ යුතුයි. මේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ තීන්දු තීරණ ගැනීමේ කමිටුවල පවා කාන්තා නියෝජනයක්‌ තිබ්බේ නැහැ. ඒ ගැන මම කනගාටු වෙනවා.

පසුගියදා එජාපයේ පළාත් පාලන ආයතනවලට තරග වදින සියලු සාමාජිකයන් ගෙනවිත් විශාල රැස්‌වීමක්‌ තිබ්බා. අවම වශයෙන් එතැනදීවත් එක කාන්තාවකට කතා කරන්න බැරි වුණා. ඇත්තටම එය සිදු නොවිය යුතු දෙයක්‌. අපේ පක්‍ෂය, පාර්ශ්වය පැත්තෙන් හෝ අනාගතයේ මේ තත්ත්වය වෙනස්‌ වෙයි කියලා මම හිතනවා. මම පක්‍ෂයේ ප්‍රශ්න ගැන මැතිවරණයක්‌ මොහොතේ කතා කරන්න කැමැති නැහැ. ඒත් අප්‍රේල් 12 වැනිදා වෙනකොට, කෘත්‍යාධිකාරී මණ්‌ඩලයක්‌ නව නායකත්ව මණ්‌ඩලයක්‌ පත් වූ පසු මේ තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී විය යුතුයි කියන ස්‌ථාවරයේ මම ඉන්නවා.

ප්‍රශ්නය - ඔබ නව නායකත්ව මණ්‌ඩලය ගැන සඳහන් කළා. ඒත් තවමත් මේ පිළිබඳ යම් අර්බුදකාරී තත්ත්වයක්‌ තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ.

පිළිතුර - අර්බුද කියලා දෙයක්‌ නැහැ. මාර්තු 17 වැනිදායින් පස්‌සේ, අන්තර්කාලීන කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌වෙලා නායකත්ව මණ්‌ඩලයත්, නව කෘත්‍යාධිකාරි මණ්‌ඩලයත් පත් කර ගැනීමට නියමිතයි.

ප්‍රශ්නය - අර්බුදයක්‌ නැහැ කිව්වට පක්‍ෂ නායකත්වය පිළිබඳ අර්බුදය නිසා පක්‍ෂයේ පිල් දෙකක්‌ හැදිලා තිබෙන බවක්‌ පේන්න තියෙනවා.

පිළිතුර - ඔය කතාව වැඩි වශයෙන්ම ජනමාධ්‍යයෙන් උලුප්පා දක්‌වන කතාවක්‌. ඒක විරුද්ධවාදීන් විසින් ඔප් නංවන දෙයක්‌. පක්‍ෂ නායකත්වය ගැන තීන්දු තීරණ ගන්න පක්‍ෂයේ කිසිවෙකුත් වාඩි නොවුණු තත්ත්වයක්‌ යටතේයි මේ කතාව ප්‍රචාරය වෙන්නේ. නමුත් අපි දන්න විදියට මේ ගැන පක්‍ෂය තුළ අන්තර්කාලීන කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ පවා තවමත් කතාබහට ලක්‌වුණේ නැහැ.

ප්‍රශ්නය - නමුත් රනිල් වික්‍රමසිංහ ද - සජිත් ප්‍රේමදාස ද කියන කතිකාව ඔබ ඔය කියන විදියේ "සුළු" කාරණයක්‌ හැටියට නෙවෙයි සමාජගත වෙලා තියෙන්නේ.

පිළිතුර - මෙහෙමයි...... රනිල් වික්‍රමසිංහ මහතා නායකයා විදියට සිටිය යුතුද? නැද්ද? කියන එක හෝ සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය යුතු තැන ගැන හෝ පක්‍ෂයේ වගකිවයුතු තීන්දු තීරණ ගැනීමේ ආයතන තුළ කතාබහ වෙලා නැහැ. ඒත් සමාජයේ එහෙම කතාවක්‌ ගොඩනඟන්න විශේෂ ජනමාධ්‍ය තුළ විශේෂ උනන්දුවක්‌ තිබෙනවා. හැබැයි මම ඉන්න ස්‌ථාවරය නම් ජනතා නියෝජිතවරියක්‌ හැටියට ජනතාවගේ කැමැත්තට ඉඩ දිය යුතුයි කියන එකයි.

ප්‍රශ්නය - දැන් ඔබ දකින විදියට ජනතා කැමැත්ත මොන වගේ එකක්‌ද?

පිළිතුර - පසුගිය 9 වැනිදා කොළඹ විහාර මහා දේවී උද්‍යානයට රැස්‌වූ දහස්‌ ගණනක්‌ පළාත් පාලන මැතිවරණ අපේක්‍ෂකයන් රනිල් වික්‍රමසිංහ මහතා කතා කරන මොහොතේ ඊට ගෞරව දක්‌වා හිටියා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා කතා කරන්නට නැඟී සිටි මොහොත් ඔවුන් තුළ විශාල උෙද්‍යාගයක්‌ තිබුණා. ඒ වෙනස අපි තේරුම් ගත යුතුයි. ජනතා කැමැත්ත ඒ කනම්, ජනතා නියෝජිතවරියක්‌ හැටියට මට ජනතාවගේ පැත්තෙන් හිටගන්න වෙනවා.

ප්‍රශ්නය - ඔබ රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී, බුද්ධිමත් නායකත්වය ගැන විවිධ අවස්‌ථාවල අදහස්‌ පළ කළ කෙනෙක්‌. ඒත් එක්‌කම මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මහතාගේ ආකර්ෂණීය බව ගැනත් කතා කරනවා. මේ නිසාම ඔබට තිබෙන්නේ දෙබිඩි පිළිවෙතක්‌ බවයි බොහෝ විට මත පළ වෙන්නේ...

පිළිතුර - කොහෙද එහෙම මතයක්‌ තියෙන්නේ.......

ප්‍රශ්නය - බොහෝ මාධ්‍ය මගින් ඒ ගැන කියෑවුණා..... දේශපාලඥයන්ගෙන් පහළ මට්‌ටමේ ජනතාව තුළත් ඒ ගැන කතා කරනවා.

පිළිතුර - මම මුලිනුත් කිව්වේ ඒකයි... සමහර ජනමාධ්‍ය එහෙම දේවල් ගැන බොහෝ නිර්මාණ ඉදිරිපත් කරනවා. ආණ්‌ඩු පක්‍ෂයෙනුත් ඒ කතාවලට ලොකු ප්‍රචාරයක්‌ අඩු වැඩිය එක්‌ක දෙනවා. ඒත් ඇත්ත ඒක නෙවෙයි.

මම පැහැදිලිවම අදත් කියන එක තමයි, මේ රටට අවශ්‍ය, මේ රටට බොහෝ දේවල් ඉදිරියෙදීත් දෙන්න පුළුවන්, දූරදර්ශී බුද්ධිමත් නායකයෙක්‌ ඉන්නවනම් ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි කියන එක.

නමුත් දැන් ඔබත් සඳහන් කළ විදියට ග්‍රාමීය මට්‌ටමේ ජනතාව පවා කියන්නේ එජාප නායකත්වය වෙනස්‌ විය යුතුයි කියන එකනම්, මම මුලින් කිව්වා වගේ පසුගිය නවවැනිදා විහාරමහා දේවී උද්‍යානයේ තිබ්බ රැස්‌වීමේදීත් ඊට අදාළ ප්‍රතිචාර ලැබුණානම්, ඒක මට අත් විඳින්නත් ලැබුණනම්, ජනතාවගේ අපේක්‍ෂාවන්ට හිස නමන දේශපාලනඥවරියක්‌ හැටියට මට ඒ තැන ගන්න වෙනවා. මම නියෝජනය කරන්නේ එජාප පාක්‍ෂිකයන් මිස එක්‌ එක්‌ කණ්‌ඩායම් හෝ සටන් පාඨ නොවෙයි.

හැබැයි අවධාරණය කරන්න ඕන එතෙක්‌ කිසිම මොහොතක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සමස්‌ත ක්‍රියාදාමය විවේචනය කරමින් මම විවිධ පාර්ශ්වයන් නියෝජනය කරනවා කියන එක..... එතුමාගේ දේශපාලන ක්‍රියාදාමය කිසි මොහොතක දෙවැනි තැනට දාන්න බැහැ.

නමුත් ජනතා කැමැත්තට ඉඩදීලා නව නායකත්ව මණ්‌ඩලය තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, සජිත් ප්‍රේමදාස මහතාටත් සුදුසු තනතුරු ලැබිලා අපිට සමගියෙන් මේ ගමන යන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි මේ අදූරදර්ශී, දූෂිත, අක්‍රමිකතාවන්ගෙන් පිරිච්ච, නිසි කළමනාකාරීත්වයකින් තොර ආණ්‌ඩුවට අපිට අභියෝග කරන්න පුළුවන්. මේ කාරණය තුළ කිසිම අර්බුදයක්‌ නැහැ. මේක විසඳගන්න පුළුවන් තැනකයි අපි ඉන්නේ. මේ දූෂිත 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහමුලින්ම වළපල්ලට යවන ආණ්‌ඩුව පලවා හරින්නට ඒජාපයට හැකියාව තිබෙනවා. ඒ නිසාම ජනතාවට විශ්වාසය ඇති වන වෙනසක්‌ එජපය තුළ ගොඩනැඟෙන්නට ඕන.

ප්‍රශ්නය - ඔය කියන ජනතා විශ්වාසය මේ වෙනකොට එජාපයට නැත්තේ ඇයි?

පිළිතුර - ජනතාවට එජාපය ගැන අවිශ්වාසයක්‌ නැහැ. ආණ්‌ඩුවේ මාධ්‍ය වලින් එහෙම ප්‍රචාරයක්‌ ගෙන යනවා ඇති. නමුත් ජනතාව බොහෝ දේ තේරුම් ගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2002 දී සටන් විරාම ගිවිසුම අත්සන් කරපු මොහොතේ එහි ඇති දූරදර්ශී බව හෝ එමගින් ත්‍රස්‌තවාදයට එරෙහිව උපක්‍රමශීලී බව ජනතාවට තේරුම් ගියේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒක ජනතාවට පැහැදිලි කරලා දෙන්න තරම් අවකාශයක්‌ තිබ්බෙත් නැහැ. එදා කියන දේ ජනතාව තේරුම් ගත්තෙ නැහැ. එල්.ටී.ටී.ඊ. ය දෙකඩ වුණේ ඒ ක්‍රියාවලියෙන්, රටට ගැලපෙන ආර්ථික දර්ශනය ගැන රනිල් වික්‍රමසිංහ මහතා කියපු දේ රටේ බිම් මට්‌ටමේ ජනතාවට තේරුණේ නැහැ. ඔහුට ඒක හරියට සන්නිවේදනය කරගන්න බැරිවුණා. රටේ ආර්ථිකයේ දියුණුවත් සමග හැම තරුණ, තරුණියකටම අවශ්‍යතා සපුරගන්න පුළුවන් කියන එක ගමට ගියෙත් විරුද්ධ දේශපාලඥයන් විසිනුත් බ්‍රේස්‌ලට්‌ - මාල" දෙනවා කියලා හාස්‍යට ලක්‌කළා. අන්න ඒ ජනතාවගේ සිතුම් පැතුම් - විශ්වසනීය ලෙස ගොඩනැංවීමයි මම ජනතා විශ්වාසය ලෙස හඳුන්වන්නේ...... ජනතාව බලා ඉන්නවා එජාපය නැවත වාරයක්‌ ශක්‌තිමත්ව නැඟිටින්නේ කවදාද කියන එක. ජනතාව තුළ ඒක ගැන අදහසක්‌ තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ වටිනාකම හැමදාමත් තේරුම් ගන්න කාන්තාවක්‌ මම. ඒත් මම කනගාටු වෙනවා පසුගිය මැතිවරණවලදී ඔහුගේ වටිනාකම ජනතාව තේරුම් නොගත්ත එක්‌ ගැන. 2000-2001 - 2005 දී ජනතාව මේක තේරුම් ගත්තේනම් අද රටට මේ වගේ තත්ත්වයක්‌ උදාවෙන්නේ නැහැ. නමුත් මේ මොහොතේ ජනතාව යම් වෙනසක්‌ ඉල්ලනවනම්, ජනතා නියෝජිතවරියක්‌ හැටියට මම ඔවුන්ගේ පාර්ශ්වය ගත යුතුයි.

ප්‍රශ්නය - එජාපය ඔය කියන...... සැබෑ වෙනස ඇති වෙන්නේ මාර්තු 17 ද? අප්‍රේල් 12 ද?

පිළිතුර - මාර්තු 17 වැනිදාට සැබැවින්ම සැබෑ වෙනසක්‌ ඇතිවෙනවා. මම විශ්වාස කරනවා එජාප පාක්‍ෂිකයන්ට එජාපය විශාල ජයග්‍රහණයක්‌ කරා ගෙන යන්න හැකියාව තිබේවි කියලා. ආණ්‌ඩුව පරදවා හැරීමේ පළමු වෙඩි මුරය අපි ප්‍රාදේශීය සභා වලින් ආරම්භ කරනවා.

ප්‍රශ්නය - ඔය "වෙඩිමුරය" මැතිවරණ ගණනාවකදී පත්තු කළා. හැබැයි එජාපය එතැනමයි....

පිළිතුර - නැහැ...... පසුගිය මැතිවරණ වලදීත් වෙනසක්‌ ඇති වෙන්න තිබුණා, නමුත් ඒකට තිබුණු ඉඩ කඩ ආණ්‌ඩුව සුක්‍ෂම විදියට වැළැක්‌වුවා. මම මෙවර මැතිවරණ කටයුතුවලට ගිය ගිය තැනදී දැක්‌ක ප්‍රතිචාරයන්වල හැටියට ආණ්‌ඩුවට ඡන්දය දෙන්න පිරිසක්‌ ඉන්නවද කියන ප්‍රශ්නය මට ඇති වුණා.

සමහර ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන්ට ගම්වලට යන්න පුළුවන් තත්ත්වයක්‌ උදාවෙලා නැහැ. රටේ බඩුමිල, බදු බර මේ හැම දෙයක්‌ම ජනතාවට තදින් දැනිලා තියෙන්නේ.

එත් එක්‌කම ආණ්‌ඩුවේ මර්දනය... එය විරුද්ධ පක්‍ෂ දේශපාලඥයන්ට මරණ තර්ජන ගෙන එන තරමට වර්ධනය වෙලා. පෙබරවාරි හතරවැනිදා "නිදහසේ විලාපය" සාමකාමී උද්ඝෝෂණයට පහරදීපු සිද්ධිය බලන්න. අපේ වාහන කුඩු කරලා, පොඩි කරලා, පෙට්‍රල් බෝම්බ ගහලා හැමදේම කරනකම් මේ රටේ පොලිසිය බලා ගෙන හිටියා..... මේ කාගේ හයියද? තවම කවුරුත් අත්අඩංගුවට අරන් තියෙනවද? මේ රටේ උසස්‌ පොලිස්‌ නිලධාරීන් ඇත්තටම ලැඡ්ජා විය යුතුයි..... ඉන් ජාත්‍යන්තරයට ගිය පණිවුඩය තමයි අඩුම වශයෙන් නිදහස්‌ දිනයෙවත් විරෝධතාවක්‌ පවත්වන්න මේ ආණ්‌ඩුව ඉඩ දෙන්නේ නැහැ කියන එක.

ආණ්‌ඩුවේ ඉහළම පෙළේ කිහිප දෙනෙක්‌ පෝෂණය කරන ආණ්‌ඩු ක්‍රමයක්‌ තමයි අද තියෙන්නේ........ එහෙම ආණ්‌ඩුවක්‌ දවසින් දවස, බඩුමිල උහුලන්න බැරි තරමට, ආදායම් මාර්ග වැඩි කරගන්න ක්‍රම වේදයක්‌ නැති තරමට සාමාන්‍ය ජනතාවට බර පටවනවා.

ඒ නිසා මම පැහැදිලිව, බය නැතුව කියනවා මේ ගැන රටට දැනිලා තියෙන්නේ..... ඒ හේතුවෙන්ම මේ ප්‍රාදේශීය සභා මැතිවරණය එජාපය ඉහළින්ම දිනනවාද එහෙම නොවෙනවා නම් ඒකට හේතුව, ආණ්‌ඩුවේ දේශපාලඥයන්ගේ මැතිවරණ අක්‍රමිතාවන් මිස වෙන කිසිම දෙයක්‌ නෙවෙයි. හැබැයි එහෙම වුණොත් ඊජිප්තුවේ වගේ මේ රටේ ජනතාවත් ඉතාම ඉක්‌මනින් විදී බහිනවට සැකයක්‌ නැහැ.

සාකච්ඡා කළේ උදේශ සංජීව ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.