ජ.වි.පෙ. පෙඩරල්වාදය පිළිගැනීම
නව දේශපාලන හැඩරුවක්‌ මතු කරයි?

මෑතකදී ජ. වි. පෙ. පැවැත්වූ 6 වැනි ජාතික සමුළුවේදී ඔවුන් පසුගිය කාලයේ පැමිණි දක්‌ෂිණාංශික මාවතෙන් වෙන්ව ගමන් කිරීමක්‌ ගැන කතිකාවක්‌ ආරම්භ කර ඇති බව මාධ්‍යවල පළවූ සමුළු කතාවලින් පෙනෙන්නට තිබේ.

මෙහි වැදගත් කරුණ වන්නේ ජාතික සමගිය හා සමානත්වය වෙනුවෙන් "එකතු වන පෙඩරල්වාදයක්‌" ගැන කතා කිරීමය. එසේම ශ්‍රී ලංකා, යූ. එන්. පී. රට පාලනය කළ දෙපිරිසට වෙනස්‌ව වෙනත් බලවේගයක්‌ එකතු කර රටේ පාලන බලය ලබා ගැනීම ගැනත්, ඡේ. ආර්. ගේ ඒකාධිපති ව්‍යවස්‌ථාව 18 වෙනි සංශෝධනයෙන් තවත් ඉදිරියට ගෙන ගොස්‌ ඇති නිසා එය බිඳ දැමීම ගැනත්, ගොඩ නැගෙමින් පවතින පවුල්වාදය බිඳ දැමීම ගැනත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගොවියන්, කම්කරුවන්, බුද්ධිමතුන් පෙරට පැමිණිය යුතු බවත්, විවෘත ආර්ථිකය ඔස්‌සේ අධිරාජ්‍යවාදී ගෝලීයකරණය මගින් නව යටත් විජිතයක්‌ බවට රට පත්කර ඇති බවටත්, එයින් මිදීම සඳහා සමාජවාදය එල්ලකරගත් ජාතික විමුක්‌ති අරගලයක්‌ දියත් කළ යුතු බවත් යෝජනා කරයි. එවැනි මාවතක ගමන් කළ හැකි එකම පක්‍ෂය වන්නේ ජ. වි. පෙ. පමණක්‌ බවත් ඔවුන් කියා සිටී.

ජ. වි. පෙ. මෙවැනි ප්‍රකාශිත තත්ත්වයට එළඹීමට හේතු වී ඇත්තේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දකුණු ප්‍රදේශයේ ජාතික විමුක්‌තිකාමී බලවේගයන්ගේ ජවය ඇද ගනිමින් අන්තගාමී ජ. වි. පෙ. පිරිස්‌ පරාජයට පත් කර තිබීමය. තව ද පසුගිය කාලයේ ජ. වි. පෙ. ජවය පණ ගැන්වූ සිංහල බෞද්ධ මතවාදය සන්ධානය සමඟ සිටින ජ. නි. පෙ හා හෙළ උරුමය එකතු කර ගනිමින් සිටී. එම තත්ත්වය යටතේ දකුණේ අතරමංව සිටින ජ. වි. පෙ ය වෙනත් බලවේගයන්ගේ දිසාවන්ට දෑස්‌ යොමු කරමින් දෑත් දිගු කිරීම අරඹා තිබේ. එය ජ. වි. පෙ. සිටි අඳුරු කාමරයෙන් පිටතට පැමිණීමක වර්ධනයක්‌ ලෙස දැකිය යුතුය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පරාජය කිරීම සඳහා පසුගිය මැතිවරණවලදී ජ. වි. පෙ. විසින් මෙහෙයවූ ජනරාල්ගේ මිලිටේරි දහරාවන් දැන් යූ. ඇන්. පී. නායකත්වය දෙසට ඇදෙමින් සිටී. මෙය ජ. වි. පෙ. ට තදින් දැනෙන්නට පටන් ගෙන තිබේ.

මේ අනුව ජ. වි. පෙ. නව මාවත සඳහා විදේශගත දෙමළ ව්‍යාපාරයේ ඇතැම් කොටස්‌ සමඟ අත්වැල් බැඳ ගැනීම ආරම්භ කර ඇත. "එකතු වන පෙඩරල්වාදයක්‌" ගැන කථා කරන්නේ එබැවිනි. මෙම පියවර ජ. වි. පෙ. පක්‍ෂය බෙදීම නිසා නැති වූ විදේශ සම්පත් වෙනත් අයුරකින් ළඟා කර ගැනීමේ උල්පතක්‌ පාදා ගැනීමක්‌ සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයක්‌ ලෙස ද සිතිය හැක. එසේම දැනට දෙමළ විමුක්‌ති සන්ධානය හා රජය සමඟ සිදු සාකච්ඡා තුළින් උතුරේ ජනතාවගේ ආකර්ශනයක්‌ නිදහස්‌ සන්ධාන රජයට ඇදී ඒමට ඇති ඉඩකඩ අහුරා දැමීම ද ජ. වි. පෙ. එක්‌ බලාපොරොත්තුවකි. ඒ සඳහා ඔවුන් දෙමළ සන්ධානයට සම්මුතිකාමී යෝජනාවන්ට එළඹීමට ඇති ඉඩකඩ වළක්‌වමින් දෙපාර්ශ්වයේ බලවේග අවුස්‌සමින් අර්බුදකාරී තත්ත්වයක්‌ වර්ධනය වන තෙක්‌ ජාතික ප්‍රශ්නය කේවල් කිරීමේ දිසාවක කල්මරවමින් රඳවා ගැනීමේ උවමනාව ද පෙන්නුම් කෙරේ.

සමාන අයිතිය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ගැනීම සඳහා යූ. ඇන්. පි. නොවන පිරිස්‌ එකතු වූ ජාතික ධනේෂ්වර පෙරමුණක්‌ එක්‌ අතකින් ජ. වි. පෙ. ය යෝජනා කරනු පෙනේ. ඒ සඳහා ඔවුන් විදේශ දෙමළ සංවිධානය ද, අවුල් වූ බුද්ධිමතුන් මෙන්ම ජනරාල් සමඟ එක්‌වූ ධනපතියන් ද හමුදා කොටස්‌ ද කිට්‌ටු කර ගැනීමට මාන බලයි. එසේම අනිත් අතින් අධිරාජ්‍යවාදයට හා ගෝලීයකරණයේ නව යටත් විජිත වාදයට විරුද්ධව සටන් කිරිම සඳහා සමාජවාදය එල්ලකර ගත් ජාතික විමුක්‌ති අරගලයක්‌ ජ. වි. පෙ. නායකත්වයෙන් සිදු කළ යුතු බව ද අවධාරණය කරයි. මෙහි තේරුම වන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කඩා බිඳ දමා එම බලවේගයන් ඇද ගැනීමෙන් තොරව මෙය නොකළ හැකි වන බවය. එහිදී ආර්ථික පීඩනයෙන් හා විරැකියාවෙන් අසහනයට පත් ගැමි ගොවි කොටස්‌ ද, උගත් තරුණයින් ද යුද්ධය අතරතුර හමුදාවෙන් පැනගත් විසිරි සිsටින සෙබළ බලකායන්ටද පෙරට පැමිණෙන ලෙස ආමන්ත්‍රණය කරයි. ඒ සමඟම විශේෂයෙන් කම්කරු පංතිය වෙත සමාජවාදය දිනා ගැනීමේ ඉදිරි සටන්කාමී මාවතක්‌ වෙනුවෙන් ආයාචනයක්‌ ද කරයි.

විපක්‍ෂයේ ජ. වි. පෙ. ජනරාල් හා යූ. ඇන්. පී. බලවේග අතර පවතින බල අරගලය එකිනෙකට තරක්‌ වෙමින් ඉදිරියට පැමිණීම පළාත් සභා මැතිවරණයෙන් පසුව දැකිය හැකි වේ. මෙහිදී යූ. ඇන්. පී. යේ අභ්‍යන්තර කලකෝලාහලය එක්‌ අතකින් තාවකාලිකව යටපත් වන අතර විපක්‍ෂ බලවේගයේ ප්‍රමුඛයා වීම සඳහා ජ. වි. පෙ. ආයාස සහගත අරගලයක නිරත වීමේ ආරම්භක සූදානම් කිරිමක්‌ ලෙස 6 වෙනි සමුළුවේ ප්‍රකාශය සැලකිය හැකිය. ජ. වි. පෙ.ට යූ. ඇන්. පි ය පසුබස්‌වා ඉදිරියට ගමන් කිරීමට නම් බඩු මිල, වැටුප් ප්‍රශ්නය, උගතුන්ගේ විරැකියාව ආදී විවිධ හේතු නිසා කලකිරි සිටින නිදහස්‌ සන්ධානයේ ඇතැම් කොටස්‌ ජ. වි. පෙ. දිනා ගත යුතුය. ජනරාල් - යූ. ඇන්. පී. ය - ජ. වි. පෙ. එකතු කළ ඡන්ද 46 ලක්‌ෂයක ජනතාවක්‌ ජනරාල් - ජ. වි. පෙ. අතහැර යූ. ඇන්. පී. ය දෙසට විතැන් වීමට ඇරැඹී ඇති බව ජ. වි. පෙ. ට තදින් දැනෙන්නට පටන් ගෙන තිබේ. එනිසා ජ. වි. පෙ. අලුත් කරණමකට සූදානම් වන බව ද පැහැදිලිය. කුමන තත්ත්වයක්‌ නිර්මාණය කරගෙන නිදහස්‌ සන්ධානය බිඳ දමනු ලැබූවන් ජ. වි. පෙ. ය මූලිකත්වය ගන්නා පෙරමුණට ඡන්දයෙන් දිනා බලයට පත්වීමට නොහැකි බව ද ඔවුන් හොඳින් දනී. එනිසා ඡන්දයකින් පසු යූ. ඇන්. පි. ය. නැවත රජවීම වැළැක්‌වීම සඳහා ජ. වි. පෙ. යෝජනා කරන්නේ නිදහස්‌ සන්ධානයේ පාලකයන් බිම හෙළන ජනතාවගේ වීදි බැසීමක්‌ය.

පාරට ඇදී එන ජන ගඟක්‌ සමඟ ඇති කෙරෙන දේශපාලන කැළඹීම ප්‍රයෝජනයට ගනිමින් හමුදා කණ්‌ඩායම් සමඟ එක්‌වී විදේශ බලපෑම් මත පදනම් වෙමින් තම සටන්කරුවන්ගේ ආරම්භක ශක්‌තියෙක්‌ දියත්වන රාජ්‍ය බලය අල්ලා ගැනීමේ මාවතක්‌ ගැන ජ. වි. පෙ. කල්පනා කරයි. එවැනි තත්ත්වයක්‌ තුළ පසුගිය දෙවතාවේදී සිදු වූ ආකාරයෙන්ම ජ. වි. පෙ. ට අත්වනුයේ බියකරු පරාජයක්‌ පමණක්‌ බව මතක තබා ගත යුතුය. එනිසා ජ. වි. පෙ. අද ගත යුතු මග වන්නේ දක්‌ෂිණාංශික බලවේගයන්ගෙන් මිදී වාමාංශික හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ එක්‌වී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජනතාවාදී නව පරිවර්තන ක්‍රියාදාමයකට ගෙන යැමය.

රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ජ. වි. පෙ. සැලසුම ක්‍රියාත්මක වෙතොත් සිදුවිය හැක්‌කේ යූ. ඇන්. පී. ය මුල් වූ අධිරාජ්‍ය ගැති දක්‌ෂිණාංශික පාලන බලයක්‌ නැවතත් රට තුළ මතුවීමය. එය ජ. වි. පෙ. ට පමණක්‌ නොව සමස්‌ත ප්‍රගතිශීලී පොදු ජනතා ව්‍යාපාරයේම පරාජයක්‌ වනු නියතය. එපමණක්‌ ද නොව නැවතත් ධවල භීෂණයක සේයාවක්‌ රට තුළ මතු කරන්නේය. එබැවින් වඩා කල්පනාකාරීව අද ලෝකයේ පංති බෙදීම් හා ජන බලවේග ඒකරාශීවීමේ දිසාව තේරුම් ගනිමින් සමාජවාදය එල්ල කරමින් සිදු කරනු ලබන අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්‌ති අරගලයන් මෙන්ම සමානතාවය, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පිළිබඳ සටන් මාවත වන්නේ ද වාමාංශික හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ බහු පක්‍ෂ පෙරමුණු මාවත බව තේරුම් ගත යුතුය. එම නිසා ජ. වි. පෙ. සටන්කාමීන් අද දවසේ කල්පනාවට ගත යුතුව ඇත්තේ එවැනි පියවරකට යොමුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය වටා නැවත පෙළ ගැසෙමින් ජනතාවාදී මාවතක්‌ ඔස්‌සේ නව යුගයක්‌ බිහිකිරිම සඳහා පෙරට පැමිණෙන ලෙසය.

වාසුදේව නානායක්‌කාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.