ඉතිහාසය කියවන ගමන් බණත් උගනිමු

පසේ බුදුවරයෙකුට උවටැන් කර
ලක්‌දිව උපත ලද කාවන්තිස්‌ස රජ




කාවන්තිස්‌ස රජතුමා පිළිබඳ ඉතිහාසය විසින් අඳින ලද චිත්‍රය ඔහුගේ පුත් දුටුගැමුණු රජුගේ චිත්‍රය තරම් ආකර්ෂණීය නැත. මේ රට එක්‌සේසත් කළ දුටුගැමුණු රජතුමා රුවන්මැලි සෑය වැනි විශිෂ්ට දාගැබ් ද වෙනත් වෙහෙර විහාර ද කරවූ ශ්‍රේෂ්ඨ නරපතියකු ලෙස අපි හඳුනාගෙන සිටිමු. දුටුගැමුණු කුමර වියේ සිටම ජාතික හැඟීමෙන් ඔද වැඩී සිටි වීරයෙකි. මහාවංශය දුටුගැමුණු රජුට දක්‌වන ගෞරවය ඇතැම් ඉතිහාසඥයන් ද කුප්පන සුළුය. එහෙත් එළාර සමඟ යුද වැදී මව්බිම බේරාගත් මහා වීරයා දුටුගැමුණුම ය.

දුටුගැමුණු චරිතයට සැසඳෙන උදාර විකුම් ගති, කුමරුන්ගේ මව වූ විහාර මහා දේවියට ද තිබිණි. අපේ ඉතිහාසයේ සඳහන් ප්‍රථම සුනාමිය වෙනුවෙන් මුහුදට බිලි දුන් සේ සැලකෙන විහාර මහා දේවිය ද ඉතිහාසයේ එන විශිෂ්ට වීරවරියකි. විහාර මහා දේවිය මුහුදට බිලි වූ ආකාරය මහාවංසයේ මැනවින් විස්‌තර වේ.

මහාවංශයේ වීරයා වූ දුටුගැමුණුගේ මව වූ විහාරමහා දේවියට එබඳු ගෞරවයක්‌ ලබා දුන්නත් පියා වන කාවන්තිස්‌ස රජු දුබලයකු සේ එහි දැක්‌වේ. ගැමුණු කුමරු තම පියාට ගැහැණු පළඳනා යෑවූ ප්‍රවාදයක්‌ ද මහාවංශයේ එයි. වීරයාගේ පියා බෙලහීනයකු වීම නිසා වීර චරිතය වූ දුටුගැමුණු වඩාත් කැපී පෙනෙනු ඇතැයි මහාවංශ කතුවරයා කල්පනා කරන්නට ඇද්ද?

කාවන්තිස්‌ස රජතුමා සේරුවිල මංගල මහසෑය කළ බව මහාවංශය මෙන්ම ථූපවංශය ද අමතක කර ඇත. මංගල මහසෑය කාවන්තිස්‌ස රජුගේ ජාතික මෙන්ම ආගමික මෙහෙයකි. රෝහණය එක්‌සේසත් කිරීමට කාවන්තිස්‌ස රජ කළ මහා මෙහෙවර ද එයයි. මහංවංශය මෙන්ම ධාතුවංශය ද ආශ්චර්යවත් සිදුවීම් වලින් යුතුය. එහෙත් කාවන්තිස්‌ස රජුගේ උපායශීලී බව ධාතුවංශ කතුවරයා අපට කියා දෙයි.

කාවන්තිස්‌ස රජු තම රාජ්‍යයෙහි සංකේතය ලෙස බුදුන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කළ සේරුවිල චෛත්‍යය සලකා ඇත. රට එක්‌සේසත් කිරීමට ඔහුට උපකාර කළ තෙරවරු දෙනමක්‌ ද වූහ. ඒ චුල්ලපිණ්‌ඩපාතික තිස්‌ස හා තිස්‌සමහාරාමයෙහි සාගල තෙරණුවෝය. චුල්ලපිණ්‌ඩපාතික තෙරණුවෝ විහාරමහා දේවියගේ සොහොයුරු වෙති.

මහාවංශය කාවන්තිස්‌ස දුර්වලයකු ලෙස දක්‌වා තිබුණත් ධාතුවංශය ඔහුට ඊට වඩා ගෞරවයක්‌ ලබා දෙයි. එහි රජු දූරදර්ශී ක්‍රියාශීලී චරිතයකි. රෝහණ රාජ්‍යය ගැටුම්වලින් තොරව පාලනය කළ ඔහු තම පුත් දුටුගැමුණුට උචිත වාතාවරණයක්‌ ද සකසා දුන්නේය. එකල රෝහණය ගිරිනුවර, ලෝණනුවර, සේරු නුවර හා සෝම නුවර යන කුඩා රාජධානි හතරකින් සැදුණි. මේ ශක්‌තිය නිසා අනුරාධපුරයේ සිටි එළාරගේ අණසක රෝහණයට නොපැමිණි බව ද සිතිය හැක. එසේ වුවද කාවන්තිස්‌ස මංගල මහාසෑය කරද්දී එළාර බලය ඒ අසලම තිබුණු බව ද සිතිය හැකිය. "එළාලතොට" නමින් වූ තොටුපළක්‌ ගැන එන සඳහන එයට සාක්‍ෂිය.

කාවන්තිස්‌ස රජතුමා කැලණියේ රජ පවුල සමඟ සබඳතා ගොඩනඟා ගත් බව ද සඳහන් වේ. කැලණිතිස්‌ස රජුගේ දියණිය වූ විහාරමහා දේවිය විවාහ කර ගැනීම හා කැලණියේ සිව රජුගේ බෑණා වූ අභය කුමරුට කාවන්තිස්‌ස රජුගේ සොහොයුරියක විවාහ කරදීම එයට සාක්‍ෂි වේ. මේ විවාහ දෙකම තම බලය තහවුරු කර ගැනීමට කළ බව පෙනේ.

කාවන්තිස්‌ස රජුගේ උත්පත්ති කතාව මලය රට දක්‌වා ඇදී යයි. මලය රට එක්‌තරා චණ්‌ඩාලයකුගේ නිවසක උපාසිකාවක කුසයේ පිළිසිඳ උපන් හෙතෙම පසේබුදුවරයකුට උපස්‌ථාන කර, ඒ පින් බලයෙන් දෙව්ලොව උපන්නේලු. ඉන්පසු ශ්‍රී ලංකාවේ චණ්‌ඩාල දෙටු පුත් කෙනෙකු ලෙස ඉපිද පින්කම්හි හැසිර ඉන් මියගොස්‌ මාගම්පුර ගෝඨාභය නම් රජුට පුත්ව ඉපිද කාවන්තිස්‌ස නම් ලද බව ද සඳහන් වේ.

කාවන්තිස්‌ස රජ මලය රට පසල් දනව්වක චණ්‌ඩාලයක්‌හුගේ නිවසක උපාසිකාවකගේ කුසින් බිහිවිය. පසුව වියපත්ව කුමාරිකාවක ද පාවා ගෙන එහි විසුවේය. හේ ගොවිතැන් බතෙහි මනාප වූයේ ගේ දොර, අල කෙසෙල්, කොස්‌, පොල් යනාදිය වගා කළහ. දිනක්‌ හේ තම වත්තෙහි කොස්‌ ගසක සුවඳ ඵලයක්‌ දුටුවේය. එය කඩා ගත් ඔහු එය රැගෙන නිවසට පැමිණ එහි වහල්ල ගලවා ආහාරයට ගැනීමට සිතුවේය. කොස්‌ ඵලයෙහි චතුමධුර වැනි පැණි පිරී තිබිණි. එය වැළයකි. සුවඳ දෙන වැළය දුටු ඔහුට තමන්ගේ වන්දනාවට පාත්‍ර වූ ඒ දනව්වෙහිම වැඩවිසූ පසේබුදු නමක්‌ සිහිවිය. අනතුරුව ඔහු කල්පනා කළේ පසුදින පසේබුදුන් පිඬුසිඟා වැඩි කල්හි එය පූජා කරන බවය.

පසුදින උදෑසන සිතූ ලෙසම පසේබුදුවරයාණන් වහන්සේ සෘද්ධියෙන් ම ඒ නිවස අසලට වැඩි සේක. ඔහු උන්වහන්සේ කැඳවා අසුන් පනවා අනතුරුව පැණි වැළය රැගෙන උන්වහන්සේට පූජා කළේය.

මෙසේ ඔහු කලක්‌ පසේ බුදුන්ට පුද සත්කාර කරමින් වසන අතර වෙනත් කටයුත්තක්‌ සඳහා පරසේල නම් දනව්වට පිටත්ව ගියේය. එසේ යද්දී සිය බිරිඳ කැඳවා පසේබුදුන් වහන්සේට උපකාර කරන ලෙස ද පවරා කළ යුතු දේවල් ද කීවේය.

සැමියා කී ලෙසම පසු දින පසේ බුදුවරයා අහසින්ම වැඩ නිවස ඉදිරිපිට වූ සේක. මනාව සිවුරු පොරවා, රන්වන් පැහැ සිරුරෙන් දිලෙන, උන්වහන්සේ දුටු ඇය පළමුව දානය පිළිගන්වා සියලු උපස්‌ථාන කළාය. අනතුරුව පසේබුදුවරයා කෙරෙහි ලොල් සිතින් කාමයෙන් අන්ධව උන්වහන්සේ පොළඹවා ගන්නට සිතුවාය. පසේ බුදුහු ද කිසිදු අමුත්තක්‌ නොපෙන්වා නිසොල්මන්ව වැඩ උන්හ. ඉක්‌බිති ඒ යොවුන් ලිය මෙසේ කීවාය.

"පසේ බුදුන් වහන්ස, මිනිස්‌සු නම් නව යොවුන් වියෙහිදී නොමඳව පස්‌කම් සුව විඳිති. තපස්‌ කළ යුතු නම් ඒ වයස්‌ ගත වූ කල්හි කළ හැක්‌කකි. තවද තපසට යෝග්‍ය වන්නේ ද මහලු වීයයි. එහිලා ශීල ධර්ම නොබිඳ පවත්වා ගත හැකිය.සිත දූෂ්‍ය ද නොවේ. මහලු සිත එකඟ කිරීම ද පහසුය. ලෝවැස්‌සෝ ද ඔවුන් පසසති. යොවුන් විය යනු එසේ තපස්‌ කළ යුතු අවදියක්‌ නොවේ. භද්‍ර යෞවනය පිරිපුන්ය. ත්‍රිමද ගලිත හස්‌තිරාජයෙක්‌ යම් සේ මකුළු හුයින් බැඳලිය නොහැක්‌කේ ද එසේම යොවුන් සිත ද තපසින් බැඳලිය නොහැක්‌කේය. වහන්ස මෙලොව පංචකාම ගුණය තරම් මිහිරක්‌ නැත. අපි දෙදෙන ලෝකාස්‌වාදරතියෙන් රමණය කරමු. එහි සුව විඳිමු.

පවිටු ලියගේ පවිටු අදහස්‌ දුටු උන්වහන්සේ ඇයට මෙසේ අවවාද කළ සේක.

"එම්බා නඟණ්‌ඩිය, මේ වස්‌තුකාම සියලු කෙලෙස්‌ දුරලූ උතුමෝ ඒවා පිළිකුල් කළ යුතු අසුබ සේ දකිති. මේ සැප යෑයි ගත් සිරුර කුණුපයෙකි. සර්ප හිසක්‌ මෙන් බිහිසුණුය. කාමය විනාශයක්‌ ලෙස විනා සුවයක්‌ සේ නොගත යුතු ය. මෙලොව පුහුදුන් දනෝ එහි ලොල්ව විපතට වැටෙති. අනාචාර ධර්ම යනු විපාක දෙන අකුසලයකි. සිහියෙන් ක්‍රියාකරන්න. පසේ බුදුවරු සියලු කාම බැමි සිඳ ලූ උතුමෝ ය."

ඒ ඇසූ පව්කිළිය මහත් සේ ලැඡ්ජාවට ද, බියට ද පත් වූවාය. එහෙත් එපුවත් සඟවා හිටියාට මුසාවක්‌ කියන්නට සිත සාදා ගත්තී සිය වස්‌ත්‍ර ඉරා දැමුවාය. සිරුර තන්හි තන්හි නිය පහරින් සීරුම් ගත් ලෙසක්‌ සේ තුවාල කර ගත්තාය. හිස කෙස්‌ අවුල් කර ගත්තාය. විඩාබර විලාශයකින් අඩනිරුවතින් වැතිර සිහි විසඥ වූ අයුරින් ම සිටියාය. කෙසේ හෝ යමෙක්‌ ඕ දුටු කල්හි සිතන්නේ මේ නම් ඒකාන්තයෙන් ම අතවරයකට පත් ලියක්‌ යනුවෙනි. එසේ සිතූ ඇය සැමියා එන තෙක්‌ නිරාහාරව ද සිටියාය.

සිය කටයුතු නිමවා ආපසු පැමිණි ඔහු නිවසට ඇතුළුවෙද්දීම ඒ දසුන දිටීය. අනතුරුව මේ කුමක්‌ දැයි විමසීය.

"මේ පුවත් අපගේ පසේ බුදුන් වහන්සේ නොදුටු සේ දැයි" ඔහු විමසුවේ ඉනික්‌බිතිවය.

ඇය මායමින් දුකට පත් විලස්‌ පාමින් "ඇති ඇති තවත් මට ඔය පසේ බුදුන් ගැන නොකියනු මැනවි. එය සිහි කිරීම ද මට විඩාවකැ"යි කියමින් හඬන්නට ද වූවාය.

"නොවලහ කියව. තිට අනාදරයක්‌ වූයේ කෙසේ දැ"යි ඔහු යළිත් කෝපාවිෂ්ටව ඇසීය.

"මා මහත් බැතියෙන් දානය ද පිළිගන්වා අනුමෝදනා අසන්ට පසෙකට වූවාය. එවේලෙහි පසේ බුදුන් මගේ ස්‌ත්‍රී සිරුර වර්ණනා කරමින් මා රමණයට පොළඹවා ගන්නට තැත් කළා. මහිමි හැර අන් හිමි නොපැතූ මට ලැබුණු සත්කාර තමා මේ. මා යන්තම් දිවි ගලවා ගත්තේ මහා පොරයකින්. බලන්න මේ සීරීම්. මේ ලේ පැල්ලම්. ඔබේ පසේ බුදුන් අගෙයි නේද?"

ඇගේ විලාසය ද ඇගේ බස ද සාක්‍ෂි ලෙස ගත් ඔහු වහාම ගෙතුළට ගොස්‌ දුන්න ද, තියුණු අවියක්‌ ද අතට ගත්තේය.

"මදැයි අපත් ගරුකළ පසේ බුදුන්ගේ තරම." යෑයි සිතමින් ම උන්වහන්සේ සොයා ඔහු වේගයෙන් දුවන්නට විය.

ඔහු පසේ බුදුන් වසන ප්‍රදේශයට යද්දී අතරමඟ අහසෙහි රැඳුණු පාත්‍රයක්‌ ද සිවුරක්‌ ද දුටුවේය. ඒ කුමන ප්‍රාතිහාර්යක්‌ දැයි විමසිල්ලෙන් බලන ඔහුට නුදුරෙහි පැන් සනහන පසේ බුදුන් වහන්සේ පෙනිණි.

යළිත් තමන් දුටු දසුන දෙස නෙත් යොමු කළ ඔහුට අවබෝධ වූයේ උන්වහන්සේගේ ආනුභාවයෙන් එලෙස සිවුරත් පාත්‍රයත් අහසෙහි රැඳී තිබෙන බව ය. ඒ සමගම ඔහුට තම බිරිඳ කී දේත් සිහිවිය. එවේලෙහි ඔහුට හැඟුණේ මෙබඳු හාස්‌කම් කළ හැකි වන්නේ ඒකාන්තයෙන් ම උතුම් සිල් ඇති අයෙකුට පමණි. වටපිට බලන ඔහු දුටුවේ දිය පිටම රැඳී සිවුරු පොරවන පසේ බුදුන් ය. මෙලෙස දිය මතුපිට රැඳී සිටිය හැකි මිනිසෙක්‌ ලොව වන්නේද? මෙයත් ආශ්චර්යකැයි තම සිතෙහි වූ වැරැදි සිතිවිලි අත්හැරියේ ය.

අනතුරුව පසේ බුදුන් වඩිද්දී පෙරමඟට පැන අනේ මේ පවිටාට සමාවන්න. නොදැන වරදවා සිතූ සිතුවිල්ල පවකියි හඬන්නට විය.

පසේ බුදුහු ද සියලු තතු දත්හ. එහෙත් යළි ඔහු විමසා තොප යම් අරමුණක්‌ උදෙසා සන්නද්ධව පැමිණියෙහි ද එසේ නම් එය ඉටු කරන්නැයි කියා සිටියේය.

අහෝ ස්‌වාමීනි, මා මගේ පව්කාර සැතිරිය මරන්නෙමි. ඇගේ බසින් අන්ධව මුළා වී ඔබ වහන්සේ නැසීමට දිව ආමි. මට ඔබවහන්සේගේ සීලය ද, සමාධිය ද පසක්‌ විය. මම ඇයට නිසි දඬුවම දෙන්නෙමි" යි දිව්රා කීවේය.

ඔහු අස්‌වැසූ පසේ බුදුහු ඉක්‌මන් නොවන්න. මාගමුන්ගේ බස්‌ විමසිලිව අදහන්නැ යි අවවාද කර ඔහු පන්සිල්හි ද පිහිටුවූහ.

අනතුරුව නිවසට ගිය හේ මෝඩ ස්‌ත්‍රියට ද සමාව දී තවත් කලක්‌ ධාර්මිකව ජීවත් විය. පසේ බුදුන් වහන්සේ ද කලකට පසු පිරිනිවන් පෑ සේක. ඉනික්‌බිතිව ඔහු ද මියගොස්‌ දෙව් ලොව උපත ලද්දේය. දෙව් සැප විඳ අනතුරුව ශ්‍රී ලංකාවේ ගල්වල අමරමහ ලෙනට නුදුරු චණ්‌ඩාල දෙටුවකුට දාව ඉපිද අමරුප්පල කුමාර ලෙස ප්‍රකට විය.

මේ අමරුප්පල කුමාරයා ද බාල වියේ සිටම පිනට දහමට ලැදි විය. එකල සිටි මලියදේව හිමි මහ තෙර නමකට උපස්‌ථාන කරමින් දිවි ගෙවූ කුමරු ඉන්පසු ඉන් චුත වී මාගම්පුර නුවර ගෝඨාභය රජු අගමෙහෙසියගේ කුස පිළිසිඳ දසඑකඩමසින් බිහි විය. එවර ඔහුට නම් තබන ලද්දේ කාවන්තිස්‌ස නමිනි.

කාවන්තිස්‌ස සිය පිය රජුගේ ඇවෑමෙන් රාජ්‍ය ලද්දේ මෙදිවයින සුභික්‍ෂ කරවමින් විසීය. මෙරට මහත් සමෘද්ධියකින් පිරී ගිය අතර කලට වැසි ද වැටිණි. වැව් පොකුණු, ගං යනාදිය පස්‌ පියුමෙන් ද සැදුණි. ධාන්‍ය ද වී ද සුලබ වී මෙදිවයින ආලකමන්දාව සේ ප්‍රකට විය.

ඒ කාවන්තිස්‌ස උපත පිළිබඳ කතාවය.

අප මේ තොරතුරු උපුටා ගත්තේ විද්වත් සිරි තිලකසිරි සූරීන් විසින් අප්‍රමාණව දුෂ්කර ක්‍රියා කරමින් එළිදක්‌වන ලද ඉතිහාස ග්‍රන්ථ මාලා - 1 යටතේ පළ වූ ධාතුවංශයෙන් බව ද සඳහන් කරමු.

ගාමිණී සුමනසේකර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.