සංස්‌කරණය : නාරද නිශ්ශංක

මගේ සීමාවන් තුළ හිඳිමින් හැකි උපරිමය
සිනමාව වෙනුවෙන් ඉටු කළා
ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌

ජපානයේ අකිර කුරසෝවා ඉන්දියාවේ සත්‍යජිත් රායි ආදි වශයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ ආචාර්ය ලෙස්‌ටර් ජෙම්ස්‌ පීරිස්‌ නම් වූ සුවිශේෂ නාමය අපට ගෞරවයෙන් යුතුව සිහිපත්වෙයි. මෙරට පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පාත්‍රව සිටින ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ නම් අග්‍රගන්‍ය සිනමාකරුවාණන්ගේ 92 වෙනි ජන්ම දිනය මෙම 5 වැනිදාට යෙදී තිබේ. එතුමන්ට චිරජීවනය පතමින් මෙම පහත සංවාද සටහන අපි පළ කරනුවේ ප්‍රවීණ ලේඛක පියසේන වික්‍රමගේ විසින් ලියන ලද සිනමාවේ 50 වසරක්‌ ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ (සර්වෝදය විශ්ව ලේඛා ප්‍රකාශනයකි) ග්‍රන්ථයේ අනුග්‍රහයෙනි. එම කෘතිය සඳහාම වික්‍රමගේ මෙම සාකච්ඡාව ආචාර්ය ලෙස්‌ටර් සමග පවත්වා තිබේ.

සිනමාකරුවකු හැටියට ඔබගේ සිනමා නිර්මාණ කාර්යෙන් ඔබ අත්කරගත් දේ හා නොගත් දේ කුමක්‌ ද?

ලෙස්‌ටර් (- සිනමාකරුවකු හැටියට සිනමාවෙන් මා ප්‍රකාශ කළ දේවලට අමතරව, සිනමාවෙහි කුතුහලය දනවන විවිධ ඉසව් යන ආදියට අමතරව, සිනමාවෙන් මට අත්කර දුන් සුවිශේෂම මෙහෙවර නම්, සිනමාව හරහා යළි මා මගේ මවුබිමට සමීප කිරීමයි. එය සිනමාවෙන් මා අත් කරගත් සුවිශාලතම සේවාවක්‌. වෙනත් ආකාරයකට කියතොත්, මා සිනමාවට - සිනමාකරුවකු හැටියට කළ මෙහෙවරට වඩා ලද ප්‍රතිලාභයක්‌ - එය ෘ ඒ කියන්නේ සිනමාව හේතුවෙන් මා ලක්‌දිවට යළි පැමිණුනා. එසේ නොවුණේ නම්, මා එංගලන්තයෙහි රැඳෙන්නට ඉඩ තිබුණා.

කුමක්දෝ දෛවෝපගත සිද්ධියක්‌ හේතුවෙන්, අද ඔබ හා මම කරන මෙම සංවාදය වැන්නකට මම එදා පුවත්පත් කලාවේදියකු ලෙස එක්‌තරා පුද්ගලයකු හමුවීමට ගියා. ඔහු තමයි මගෙන් ඉල්ලා සිටියේ, යළි ලංකාවට එන්නැයි කියා. එසේ ලක්‌බිමට පැමිණීම හේතුවෙන් මම - මගේ අක්‌ මුල් පාදා ගත්තා. එතැන් පටන් සිනමාව හරහා මම බොහෝ දේ අත්කර ගත්තා. එය ලක්‌බිමේ මගේම ජනතාව කරා මා සමීපස්‌ථ කළා. මම යළි මගේ මවුබිමට සපැමිණියා.

සිනමාව නිසා නොවේ නම්, මා යළි ලක්‌බිමට පැමිණීමක්‌ සිදුවෙතැයි සිතීම අසීරුයි. බටහිරට නැඹුරු සංස්‌කෘතියෙන් මා ඉවත් කළේ, මා වියෝ වී සිටි ලාංකීය සංස්‌කෘතියට මගේ ජාතිකත්වයට මා සමීප කරවූයේ සිනමාවයි.

ශ්‍රී ලාංකේය සිනමාකරුවෙකු ලෙස ඔබ අත්කර ගත් සුවිශේෂ තත්ත්වය මෙතෙක්‌ කියූ දේ අනුව විග්‍රහ කළොත්?

ඇත්ත වශයෙන්ම අප "රේඛාව" චිත්‍රපටය නිර්මාණයට - විලී බ්ලේක්‌, ටයිටස්‌ තොටවත්ත සහ මම, අපි තුන්දෙනා ප්‍රයන්ත දැරුවේ හොඳ චිත්‍රපටයක්‌ හදන්නටයි. අපට මේ චිත්‍රපට ලංකාවෙන් බැහැර විදේශයකට යවන්නට කිසිදු අදහසක්‌ වුවමනාවක්‌ තිබුණේ නැහැ. සම්මාන දිනාගැනීම වගේ අදහසක්‌ වූයේ ද නැහැ.

අපට වුවමනා වූයේ හොඳ චිත්‍රපටයක්‌ හදන්නටයි. සිංහල චිත්‍රපටයක්‌ යෑයි කට පුරා කිව හැකි - චිත්‍රපට මාධ්‍යයද භාවිතයෙන් - අප දන්නා සිනමාවද භාවිතයෙන් (දැන් තමා අප දන්නේ - එවක අපේ දැනුම කොයි තරම් සීමා සහිත වූවක්‌ ද කියා) චිත්‍රපටයක්‌ - හොඳ සිංහල චිත්‍රපටයක්‌ නිර්මාණයයි.

ඉන් පරිබාහිර දේ සෙවීම් - බැලීම් කලේ අපි කවදාවත් නොසිතූ විරූ අයයි. මරියා ෂ්වෙක්‌ නමැති නිළිය රේඛාව චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව ප්‍රංශයේ කාන් අන්තර් ජාතික චිත්‍රපට උළෙලට (Cannes International Film Festiveal) සහභාගී වන්නැයි මගෙන් ඉල්ලා සිටියා. ප්‍රංශයේ දී රේඛාව චිත්‍රපටයට කිසියම් පිළිගැනීමත් ලැබුණා.

මේවා අප විසින් අපේක්‌ෂා නොකළ දේ. පසුකාලීනව ඉන්දියාවෙන් සහ ප්‍රංශයෙන් ජීවිත කාලය පුරා සිනමාවට කළ මෙහෙයට ඇගයුම් - උසස්‌ම සම්මාන (Lifetime Achievement
Award) පුදනු ලැබුවා.

චිත්‍රපටකරණය ආරම්භ කළ අවස්‌ථාවේ සම්මාන හිමිකර ගැනීමක්‌ පිළිබඳව අප සිතුවේ නැහැ. එවැන්නක්‌ උදෙසා සැලසුම් කළෙත් නැහැ. මගේ අදහසේ හැටියට, මේ සියල්ල පසුපස ඇත්තේ සිනමාව වෙනුවෙන් අප කළ කැප කිරීමයි. මා සිතන්නේ ඕනෑම දෙයක්‌ සාර්ථක වීමට සිනමාව වේවා, නාට්‍යය - සංගීතය වේවා - එහි නිර්මාතෘන්ට දර්ශනයක්‌ (Vision) තිබිය යුතුයි. මුදල් ඉපයීමට අරමුණු කරගත් අය පවා, එහිලා සාර්ථක වන්නේ එවන් දැක්‌මක්‌ දර්ශනයක්‌ ඇති විටයි.

සිනමාව විෂයෙහිදී - ඔබේ දේශය (රට) එහි භූ දර්ශන, එහි භෞතික ස්‌වරූපය ඔබ උකහා ගත යුතුයි.

මේ මා විසින් නිර්මාණය කරන ලද සිනමාවෙහි ස්‌වරූපයයි. එමගින් මනුෂ්‍යත්වය ඉදිරිපත් කරන්නයි හැඩ ගැසුණේ. ඒ සිනමා වෘත්තාන්තවලින් - චිත්‍රපටවලින් පිටස්‌තර වූ විෂය සඳහා මා යොමු වූයේ අවස්‌ථා කිහිපයකදී පමණයි. සංදේශය, වීර පුරන්අප්පු, ගෝඩ් කිං - (God King) වැනි චිත්‍රපට උදෙසා මාගේ කොපමණ කැපවීමක්‌ තිබුණත්, මහන්සියක්‌ දැරුවත්, ඒ චිත්‍රපට අර දර්ශනයෙන් පිටස්‌තරයි. ඒ රාමුවෙන් පිටස්‌තරයි.

ශ්‍රී ලාංකීය සිනමාකරුවකු හැටියට ඔබ අත්කර ගත් තෘප්තිය - කාර්ය සාධනය ගැන විමසීමක්‌ කළොත් ?

සිනමාකරුවකු ලෙස මා මෙයට වැඩි යමක්‌ කළ යුතුව තිබිණැයි මට සිතෙනවා. මූල්‍යමය අනුග්‍රහය පක්‌ෂයෙන් බොහෝ පසුගාමී තත්ත්ව තිබුණා. සමකාලීන වෙනත් සිනමාකරුවකු හා සසඳන විට අසල්වාසී ඉන්දීය සිනමාකරු සත්‍යජිත් රේ හැම අවුරුද්දකම වාගේ කෙසේ හෝ චිත්‍රපට නිෂ්පාදනයට අවශ්‍ය අරමුදලක්‌ තිබූ තත්ත්වය දැක්‌විය හැකියි. අරමුදල් නැතිව කිසිවක්‌ කළ නොහැකියි. සත්‍යජිත් රේ චිත්‍රපට තිස්‌පහක්‌ නිර්මාණය කළා. ඒ අතින් විමසන විට, චිත්‍රපට විස්‌සක්‌ නිර්මාණයෙන් අනතුරුව මට සිතෙන්නේ. ඒවා පිළිබඳ විමසිය යුත්තේ මා නොවෙයි.

1959 ( සංදේශය 1964 ( ගම් පෙරළිය - මෙවැනි කාල පරාස තුළ ඔබගේ සිනමා කාරියේ හිස්‌ අවකාශ දැකිය හැකියි. මේ පිළිබඳ යමක්‌ කීවොත්?

එය අප කළ කැප කිරීම සිහිපත් කරන්නක්‌. ආරම්භක යුගයේ මම වාර්තා චිත්‍රපට නිර්මාණය කළා. එහි වාණිජමය අරමුණක්‌ වූයේ නැහැ. ඇත්ත වශයෙන් එය වගකීමක්‌ වූවා. සිනමා මාධ්‍යය මූලිකම වාණිජ පදනමක පිහිටි කර්මාන්තයක්‌. මේ මාධ්‍යය උදෙසා යම්කිසි පරිත්‍යාගයක්‌ කරන්නට කැපවීම පමණක්‌ ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ආත්ම ශක්‌තියක්‌ද අවශ්‍යයි. - Strength of Spirit!

ඒ සඳහා මාහට විශාල ශක්‌තියක්‌ වූයේ මගේ බිරිඳ වූ සුමිත්‍රා පීරිස්‌. ඇගේ සහයෝගිත්වයට - කාන්තාවක්‌ වශයෙන් සිනමාවෙහි නිරත සිනමාකාරියක්‌ හැටියට ඇගේ තිබූ ශක්‌තිය මට ඉවහල් වූ ආකාරය සඳහන් කළ යුතුයි. ඇගෙන් ඉතා විශාල ප්‍රමාණයක සහයෝගිත්වයක්‌ - උපකාරයක්‌ මට ලැබුණා. ඒ වගේ ම ඒ සහයෝගිත්වය ඉතා ක්‍රමානුකූල - විධිමත් ආකාරයෙන් පළ වූණේ. එවැන්නක්‌ නොවූවා නම්, මමත් මුදල්මය අරමුණුම සලකාම සිනමාවෙහි නිරත වන්නට ඉඩ තිබුණා( නැත්නම් මේ සියල්ල අතහැර දමන්නට ඉඩ තිබුණා.

ඔබේ සිනමාව සම්බන්ධ විවිධ විචාරක මතවාද ගම් පෙරළිය චිත්‍රපටය පටන් ම තිබුණා. විවිධ මතවාද - මේවා ගැන ඔබ මොකද කියන්නේ? (විශේෂයෙන් සිංහල ජන ජීවිතයට ආගන්තුක බව පිළිබඳව)

මට ප්‍රශ්න තුනක්‌ තිබුණා නේ? අපේ යුගයෙ අධ්‍යාපනය දුන්නේ ඉංගිරිසි මාධ්‍යයෙන්. අනෙක කතෝලික ආගම. ඔය දෙකෙන්ම කැපෙනව නේ? කිසි කතාවක්‌ නෑනේ. බටහිර අධ්‍යාපනය හරහා අක්‌ මුල් කැපීම සිදු වූ බව සත්‍යයක්‌.

ඉතින් මගේ වෘත්තාන්ත සිනමාව හැමවිටම පදනම් කර ගත්තේ සිංහල බෞද්ධ පවුල් ජීවිතයයි. ඒ කුටුම්බයයි.

ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ චිත්‍රපට නිර්මානය කරන්නේ සිනමා බසින් බව කිව යුතුයි. එය වෙනම බසක්‌. සිනමා බස, සිංහල බස නොවේ. සිංහල දෙබසින් චරිත කතා කරන විට, චරිත කතා කරන බස සිංහලයි. එනමුදු සිනමා බසට සිංහල බස සම්මිශ්‍ර වුවත්, චිත්‍රපට නිර්මාණය කළ යුත්තේ සිනමා භාෂාවෙනුයි.

මුල් යුගයේ සිනමා විචාරකයන් ලෙස හඳුන්වනු ලැබූ බොහෝ දෙනාට සිනමාව පිළිබඳ තිබුනේ අල්ප අවබෝධයක්‌ බව දැන් ප්‍රකට කරුණක්‌. ඔවුන්ගෙන් ඇතමෙක්‌ රේඛාව, සන්දේශය ආදී මගේ මුල් කාලීන චිත්‍රපට පිළිබඳ කිසිවක්‌ ලිවීමෙන් වැළකී සිටියා. ගම් පෙරළිය සම්බන්ධව වූවත්, ඔවුන් ප්‍රතික්‍රියා දැක්‌ වූයේ එලෙසයි.

ඔවුන් ගම්පෙරළිය චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානය ලද පසුයි ඒ පිළිබඳ ලියන්නට උත්සුක වූවේ. මේ මුල් යුගයේ විචාරකයන් කියූ අය බොහෝ කොට නැරඹුවේ ඉන්දීය දෙමළ හා හින්දි චිත්‍රපටයි. කෙසේ වූවත් සිනමාවේ දී මුඛ්‍ය වන්නේ සිනමා බසයි.

සිනමාවේ අනාගතය සහ අනාගත සිනමාව ඔබ දකින්නේ කෙලෙසක ද?

අනාගතයේ films නැත්නම් දළ සේයා පට නැතිවේවි. එනමුදු සිනමාව නම් පවතීවි. වෙනත් ස්‌වරූපයකින් සිනමා ක්‍රමවේදය වෙනස්‌ වේවි. විශේෂයෙන්ම සිනමා තාක්‌ෂණවේදය. එසේ වූවත් සිනමාවෙන් කතාන්තර කීමේ කලාව අපට දක්‌නට ලැබෙයි. කතාන්තර ස්‌වරූපය එසේම පවතීවි. සිනමා තාක්‌ෂණවේදය පමණක්‌ වෙනස්‌ වේවි.

එසේ වූවත් සිනමාව කෙදිනකවත් මිය යන්නේ නැතැයි මා කියනවා. අනාගතය සලකන විට, සිනමාවෙන් අප අත්කර ගත් දේ පිළිබඳ සෑහීමට පත්විය හැකියි. සිනමා තාක්‌ෂණය පක්‌ෂයෙන් නම්, අප අත්‍යන්තයෙන්ම වසර තිහක්‌ පිටුපසින් සිටින්නේ.

කෙසේ වූවත් මූල්‍යමය පක්‌ෂය සැලකිය යුතුයි. අරමුදල් ශක්‌තිය නිසි පරිදි සැලසේ නම්, අපට සිනමාවේ නව පරපුරක්‌, ඉතාමත් ප්‍රතිභාන්විත නව පරපුරක්‌ සිටිනවා. ඔවුන් කෙමෙන් නැගී එනවා. ඒ සම්බන්ධයෙන් මගේ කිසිදු සැක සංකාවක්‌ නොමැති බව කිව යුතුයි.

අනාගතය ඉතාම සුබදායී ලෙස ඔවුන් අත රෑඳී ඇත්තක්‌. එහිලා අවශ්‍ය වන්නේ ඔවුනට අත්‍යවශ්‍ය පිටුබලය ලැබීම පමණයි. සිනමාව ආරක්‌ෂා කළ යුතුයි. එසේ අමාත්‍යාංශ වෙනස්‌ වීම හොඳයි. මෙයට පෙරාතුව 1970 - 77 ආණ්‌ඩුව කලායේ ප්‍රවෘත්ති අමාත්‍ය ලෙස ආර්. එස්‌. පෙරේරා කටයුතු කළ සමයෙහි, බණ්‌ඩාරනායක අගමැතිනිය ජාතික චිත්‍රපට සංස්‌ථාව එතුමිය යටතේ තබා ගත්තා. ඒ අප සිනමාකරුවන් ලෙස කළ කරුණු දැක්‌වීම්වලින් අනතුරුවයි. පසුගිය කාලයේ ජාතික චිත්‍රපට සංස්‌ථාව, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේත් පාලනය වූවා. එය වෙනම කරුණක්‌. ඒත් අප තවම ශබ්ද පටිගත කරන්නේ ආදී වාසී යුගයේ උපකරණවලින්. එය ස්‌ටීරියෝ  ක්‍රමය වත් නොවේ. God King චිත්‍රපටයට ශබ්ද නිර්මාණය කළේ ඩෝල්බි  ක්‍රමයටයි. God King චිත්‍රපටය ඒ හඬ පටය සමග පෙන්වන්නට සිනමා හලක්‌ මෙරටේ තිබුණෙ නැහැ. අද වනවිට පුවත්පත් පවා නූතන තාක්‌ෂණය බහුලව භාවිත කරනවා. අද මම චිත්‍රපට යෑයි අදහස්‌ කරන්නේ සෙලියුලොයිඩ්  පට සිනමාවයි. එය අභාවයට යැම සිදුවේවි. එතැන හිමිකර ගන්නේ තැටි හෝ පට විසින්. සංයුක්‌ත තැටි බොහෝ කොට එතැන හිමිකර ගනීවි. සමාප්ත සටහනක්‌ ලෙස මට කිව හැක්‌කේ මගේ සීමාවන් තුළ හිඳිමින් වුව, මා - මට කළ හැකි උපරිමය සිනමාව තුළින් ඉටු කළ බවයි.

පියසේන වික්‍රම
ගේ

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.