සංස්‌කරණය : නාරද නිශ්ශංක

සඳකඩ පහණ අබියස ගී රස විඳින්න.....



ජීවිතය නම් කිමැයි
කියාදෙන්නේ ඔබයි
අනුන් සෙත උදෙසා
තමන් සුව නොතකා
දිවිය කැප කළ උතුම් මිනිසුනි
මිනිස්‌ කම නම් කිමැයි
කියා දෙන්නේ ඔබයි .....

අපේ ගුරුවරු කොතරම් උතුම් වූ වස්‌තූන්ද? තම සුඛ විහරණය කැපකර අනෙකෙකුගේ සෙත උදෙසා ජීවිතයම කැප කළ ගුරු දෙවිවරු ජීවිතයත් මිනිස්‌ කමත් ගැන අපට කියාදුන් පාඩම් බෝහෝය. එවන් වූ ගුරු පියවරුනට, ගුරු මෑණිවරුනට උපහාර පුදමින් අපේ ප්‍රවීණ ගායන ශිල්පි සුනිල් එදිරිසිංහයන් ඉතාමත් ආදර්ශවත් ප්‍රසංගයක්‌ පැවැත්වූ බව ඔබ දන්නවාද?

කැලණිය ශ්‍රී ධර්මාලෝකය සුනිල් එදිරිසිංහයන් උගත් පාසල. මේ පාසලේ කනිෂ්ඨ ආදි සිසුන් ජ්‍යෙෂ්ඨ ආදි සිසුවකු වන සුනිල් එදිරිසිංහයන්ට හරසර පුදන්න තීරණය කළේය. "සඳකඩ පහණ අබියස" උළෙල ඉතාමත් සුන්දර ආදර්ශවත් ප්‍රසංගයක්‌ විය.

දැන් මේ ප්‍රසංගය ඩීවීඩී තැටියක්‌ ලෙස රසිකයා වෙත පැමිණ තිබේ. සුනිල් එදිරිසිංහයන් ගැයූ ජනප්‍රිය, ආදර්ශවත් ගීත විසි එකක්‌ ඩීවීඩී ආකාරයට නැරඹීමට සඳකඩ පහණ අබියස ඩීවීඩී තැටියෙන් සරත් කොතලාවල ප්‍රමුඛ "ටොරානා මියුසික්‌" අවස්‌ථාව උදාකර දී ඇත.

"සඳකඩ පහණ අබියස" ගැන සුනිල් එදිරිසිංහ ගායකයාණන්ගෙන් විමසා සිටියෙමි.

මගේ ඩීවීඩී එකක්‌ මෙතෙක්‌ එළිදැක්‌වී නැහැ. මේ පළමුවැන්න. මේ සමාජයට ගුණාත්මක සහ වටිනා යමක්‌ ඩීවීඩී හරහා දිය යුතුය යන මතයේ මා සිටිනවා. ඒ සඳහා හොඳ අවස්‌ථාවක්‌ වුණා මා ඉගෙනුම ලැබූ කැලණිය ධර්මාලෝක විදුහල කළ ප්‍රසංගය. ඉදිරි පරපුරට ආදර්ශවත් යමක්‌ ලබාදීමට මේ ප්‍රසංගය උපයෝගී කර ගත්තා. ප්‍රසංගයේදී එකම එක පොල්තෙල් පහණයි දැල් වුණේ. ධර්මාලෝකයේ ඉගැන්වූ අදත් ජීවතුන් අතර සිටින වයෝවෘද්ධ ගුරු පියාණන් ඩයස්‌ ගුරුතුමා තමයි ඒ පහන් සිල දැල් වූයේ. පටන්ගැන්මේදීම ආදර්ශයක්‌ දුන්නා. ඉන්පස්‌සේ තමයි කුලරත්න ආරියවංශයන් ලියූ රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය කළ zජීවිතය නම් කිමැයි ගීය ගයා ප්‍රසංගය ආරම්භ කළේ.

ඉස්‌සර මං ගියෙ පාසල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක්‌ තනිවී එනවා ......
(පද - කුමාරදාස සපුතන්ත්‍රී / තනුව එච්. එම්. ජයවර්ධන)

මා කුඩා කාලයේදී පාසලට යද්දී තිබූ වටපිටාව අද දරුවන්ට ඒ ස්‌වාභාවික පරිසරයේ විඳින්න නැහැ. මේ ගීයෙන් මා උත්සාහ කළේ ඒ විඳීම දරුවන්ට ළංකර දෙන්නයි. හැම මවකගේම උදෑසන අවදි වූ පසුව තිබෙන ප්‍රාර්ථනාවක්‌ තියෙනවා. ඒ මගේ දරුවා රජවෙන්න ඕනෑ" කියන පැතුම.

පිනිබර යාමේ සැවුළන් හඬලනවා
අම්මා වට කර ලිපි ගිනි මෙලවනවා
(පද - ලූෂන් බුලත්සිංහල / තනු - වික්‌ටර් රත්නායක)

ඒ ගීයෙන් පසු ගැයෙන්නේ සුභාවිත රසයක්‌ සත්ජන සංයමයත් නොලද දරුවකුට අත්වන ඉරණම ගැන කියෑවෙන ගීයක්‌.

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා
නංගියෙ නොහොබිනා කම් හුරුවෙන්න එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා
හතුරකුටවත් මටවන් දුක වෙන්න එපා
(පද - මහාචාර්ය සුනිල් ආරියරත්න / තනු - රෝහණ වීරසිංහ)

ලක්‌වැසියන් කෙරෙහි නැමී
අර්හත් මහ මිහිඳු හිමී
පිදුවෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී

ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමියන් දෙස බස රැස ගැන අපේ දරුවන්ට දුන් ඔවදන් එසේ ගයනවා. අපේකම වේ යෑයි වටහාගෙන දෙමාපියන් ගැන, දෙමාපිය බලාපොරොත්තු හොඳින් හඳුනාගෙන හැදුනු වැඩුණු දියණියක විවාහ වී යද්දී පියාට ඇතිවන සංවේගී හැඟීම් සමුදාය ඊළඟට ගයනවා.

දුවේ ඔබ මගෙ ප්‍රාණයයි
සැබෑ වුන සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියමනින්නේ
සනුහරේ අභිමානයයි ........
(පද - බණ්‌ඩාර ඇහැළියගොඩ / තනුව - රෝහණ වීරසිංහ)

මේ ප්‍රසංගයේදී අපූරු සිදුවීමක්‌ වුණා. මට කිසිම දාක අමතක නොවන අමරණීය මොහොතකට ප්‍රසංගය අවතීර්ණ වුනා. zදුවේ ඔබ මගෙ ප්‍රාණයයි ගීය මම ගැයූ පසු මගේ දුව සංඛනී එදිරිසිංහ පිළිතුරු ගීයක්‌ ගැයුවා. zඅතිනත අරන් යනවිට සෙමෙන්..." බණ්‌ඩාර ඇහැළියගොඩමයි ගීතය ලියුවේ. තනුව රෝහණගේ. මගේ දුව පළමුවරට මෙවැනි ප්‍රසංගයකින් දොරට වැඩියා.

මේ ගීත දෙකටම කලින් මම මව් ගුණ ගීයකුත් ප්‍රසංගයට ගැයුවා.

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ
අම්මා ........ අම්මා .....
(ගීපද - මහාචාර්ය සුනිල් ආරියරත්න / තනුව - රෝහණ වීරසිංහ)

තරුණයෝ දෙදෙනෙක්‌ දවසක්‌ මා හමුවන්න ආවා. ඇවිත් ගීතයක්‌ දුන්නා.

මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නටවත් බැරි නිසා
මං ගියා අවුකන බුදුන්ටත්
දෑස්‌ දුන් මිනිසා සොයා

මේ ගීය පද රචක රජී වෙල්ගමත්, තනු නිර්මාණය කළ දර්ශන රුවන් දිසානායකත් තමයි එදා ඇවිත් ගීතය දුන්නේ. මේ ගීය පද ජංගම දුරකථන වලටත් පටිගත කරගෙන අහනවා. රසිකයන්ට අවශ්‍ය දේ.

ඔන්න ඔය වගේ හොඳ ගීත විසි එකක්‌ සඳකඩ පහණ අබියස ඩීවීඩී පටයට ඇතුළත් වෙනවා. "සඳකඩ පහණ අබියස" ප්‍රසංගය ඩීවීඩී පටයක්‌ ලෙස දකිද්දී ටොරානා මියුසික්‌ වීඩියෝහි අධිපති සරත් කොතලාවල මහතා ඉදිරිපත්වීම සතුටක්‌. රටට විය යුතු අවශ්‍යතාවයක්‌. මෙය මා ලද හොඳ අවස්‌ථාවක්‌. ටොරානා සේවක මණ්‌ඩලයේ හේමමාල් ගීතදේව, විද්‍යා මුණසිංහ වගේම සමන් විඡේසිංහයන් මතක්‌ කළ යුතුයි.

පිනිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිපි ගිනි මෙලවනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා

සුභාවිත ගී සමුච්චයක්‌ ගයන අයුරු දෑසින් දකිමින් ඒ ගී රාවය සවන් පත් ඔස්‌සේ අසමින් මියුරු රස වින්දනයක්‌ ලබන්නට සඳකඩ පහණ අබියසදී රසික රසිකාවියන්ට දැන් අවස්‌ථාව උදාවී ඇත.

අජිත් අලහකෝන්
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.