සංස්‌කරණය : නාරද නිශ්ශංක

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී  මෙරිල් පෙරේරා ලියූ
"ආදරණීය තාත්තා වෙත ලියමි"


අප්‍රේල් 03 වැනි ඉරිදා පාඨකයින් අතට පත් කෙරේ

සීමාසහිත උපාලි පුවත්පත් සමාගමේ උපදේශක කර්තෘ මෙරිල් පෙරේරා විසින් ලියන ලද අලුත්ම ග්‍රන්ථය වන "ආදරණීය තාත්තා වෙත ලියමි" පාඨකයින් අතට පත්කිරීමේ චාම් උත්සවය 2011 අප්‍රේල් මස 03 වැනිදා ඉරිදා සවස 3.00 ට පානදුර වලපොල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන් ධර්මශාලාවේදී පැවැත්වේ.

මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ මීට වසර 50 කට පමණ පෙර මෙරිල් පෙරේරා මහතා සහ ඔහුගේ පුංචි සොයුරු සොයුරියන් හයදෙනා විසින් ඔවුන්ගේ පියාට යවන ලද පුංචි පුංචි රසවත් ළමා ලිපි එකතුවකි. වතුපාලකයකු වූ ඔවුන්ගේ පියා 1988 වසරේදී මියගොස්‌ ඇත. ඒ අදින් වසර 23 කට පෙරදීය. මෙවැනි ලිපි රැසක්‌ පිළිබඳව එම පවුලේ දරුවන්ටවත් මතකයක්‌ තිබී නැති අතර පසුගියදා එම දූ දරුවන් විසින් තම පියාගේ පරණ ලිපිගොනු පරීක්‍ෂා කිරීමේදී එක්‌ ලිපිගොනුවක තිබී මෙම සුරතල් ලිපි රාශිය හමුවී ඇත.

වසර 50 කට අධික ඉතිහාසයක්‌ ඇති මෙම ලිපි රැස පොතක ලෙස මුද්‍රණය කර තම පියාට ගෞරව කළ යුතු යෑයි ඉන්පසුව එම දරුවන් විසින් ගන්නා ලද තීරණය අනුව මෙම ග්‍රන්ථ දැන් මුද්‍රණය කර තිබේ. කොළඹ 02, හුණුපිටිය, ගංගාරාමයේ විහාරාධිපති අතිපූජ්‍ය ගලබොඩ සිරි ඤාණිස්‌සර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට දිවයිනේ ප්‍රධාන පෙළේ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරු ඇතුළු සම්භාව්‍ය පිරිසක්‌ සහභාගී වෙති. "ආදරණීය තාත්තා වෙත ලියමි" ග්‍රන්ථය මෙරිල් පෙරේරා මහතාගේ කලින් ග්‍රන්ථ සියල්ලම ප්‍රකාශයට පත් කළ කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ ප්‍රකාශනයකි.

එකම පවුලේ දූ දරුවන් හත්දෙනකු විසින් තම පියාට යවන ලද ලිපි එකතුවක්‌ ශ්‍රී ලංකාවේ දී ග්‍රන්ථයක්‌ ලෙස මුද්‍රණය වන ප්‍රථම අවස්‌ථාව ද මෙය විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.