සංස්‌කරණය : නාරද නිශ්ශංක

සෙවනැලි රූකඩ යළිත් ශ්‍රී ලංකාවේ....



සෙවනැළි රූකඩ කලාව... ශ්‍රී ලාංකිකයන්ට අලුත්ම අත්දැකීමක්‌. චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල ඉතා දියුණු සහ ආකර්ශනීය කලාවක්‌ වන සෙවනැලි රූකඩ සිනමාත්මක ලක්‍ෂණ පෙන්වන සුන්දර කලාවකි.

අද අපට අලුත් කලාවක්‌ වූ සෙවනැළි රූකඩ පොළොන්නරු යුගයේ "සම්රූ"නමින් මෙරට පැවැති බවට සාක්‍ෂි හමුවී ඇත. එහෙත් දකුණු ඉන්දියාව හරහා අප ලද නූල් රූකඩ කලාව අදත් අම්බලන්ගොඩ කේන්ද්‍රකර ගනිමින් දක්‌නට ලැබේ.

සෙවනැලි රූකඩ කලාව ප්‍රායෝගික ලෙස අපට දැකගත හැකි වූයේ නැසීගිය සුප්‍රකට කලාකරුවකු මෙන්ම රූකඩ නාට්‍ය පර්යේෂකයකු වූ සිරි කුමාරසිංහ මහතාගේ දායකත්වය මතය. ඔහු දෙදහස වසරේදී "ඇලඩින්ගේ පුදුම පහන" නමින් සෙවනැළි රූකඩ නාට්‍යයක්‌ නිර්මාණය කර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය නාට්‍ය උළෙලකදී ප්‍රදර්ශනය කළේය. එදිනට පසු මේ දක්‌වා අවුරුදු දහයක්‌ අපට සෙවනැළි රූකඩ දකින්නට නොලැබිණි.

ඒ දුර්ලභ අවස්‌ථාව අද අපට උදාවී තිබේ. නටෝනා රූකඩ නාට්‍ය කණ්‌ඩායම සමග එක්‌ව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සංස්‌කෘතික මධ්‍යස්‌ථානය විසින් අද (01) පස්‌වරු 6.00 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේදී සෙවනැළි රූකඩ සංදර්ශනයක්‌ පවත්වයි. ෆාහියන් හාමුදුරුවෝ නමින් මෙම සෙවනැළි රූකඩ නාට්‍යයට නම් තබා ඇත.

මෙම සංදර්ශනයේදී රූකඩ නිර්මාණය අධ්‍යක්‍ෂණය සහ මෙහෙයවීම සිදුකරනුයේ කෝසල ප්‍රියම්කුමාර විසිනි. ඔහු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලද ශිෂ්‍යත්වයක්‌ මත ඉන්දුනීසියාවේ දෘශ්‍ය හා ප්‍රාසංගික විශ්වවිද්‍යාලයෙන් ඉන්දුනීසියා රූකඩ කලාව පිළිබඳව අවුරුද්දක පාඨමාලාවක්‌ හදාරා ඇත.

නවසිය අනූහයේදී රූකඩ නාට්‍ය උළෙලකටත්, දෙදහසේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල නාට්‍ය උළෙලටත් සිරි කුමාරසිංහයන් හඳුන්වාදුන් සෙවනැලි රූකඩ අද අපට දැක බලා ගැනීමට අවස්‌ථාව ලැබේ. සෙවනැළි රූකඩ කලාව මෙරට ප්‍රචලිත කිරීමට දරන උත්සාහයක්‌ ලෙස අද පවත්වන පාහියන් හාමුදුරුවෝ රූකඩ දර්ශනය හේතුවනු ඇත.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.