සංස්‌කරණය : නාරද නිශ්ශංක

"නරිබෑනා" වසර 50ක්‌ කරළිය මත
- සමරු උළෙල අප්‍රේල් 04 ජෝන් ද සිල්වා හිදී -

1961 මාර්තු මස පළමුදා ප්‍රසිද්ධ වේදිකාවට නැඟුනු දයානන්ද ගුණවර්ධනයෙන්ගේ "නරිබෑනා" මේ වනවිට සිය 50 වස්‌ කඩඉම පසුකරමින් සිටී. එය සමරනු වස්‌ 2011 අප්‍රේල් මස 04 දින ජෝන් ද සිල්වා සමරු රඟහලේදී සවස 6.45 ට නරිබෑනා නාට්‍යයේ විශේෂ දර්ශනයක්‌ හා මහාචාර්ය තිස්‌ස කාරියවසම් සහ ප්‍රවීන වේදිකා හා සිනමා ශිල්පී ජැක්‌සන් ඇන්තනි යන මහත්වරුන්ගේ දේශනයන් පැවැත්වීමට නළු කීර්ති සභාව කටයුතු සූදානම් කර ඇත.

මෙම සමරු උළෙලේ දොරගුලු සහෘද නාට්‍ය රසික රසිකාවියන්ට විවෘත අතර, ඔබ සැමගේ පැමිණීම ගෞරවයෙන් අපේක්‍ෂා කරන බව නළු කීර්ති සභාපතිනි අයිරංගනී ගුණවර්ධන මහත්මිය පවසන්නීය. "දයානන්ද ගුණවර්ධනයන්ගේ අකල් වියෝවට පෙරත්, පසුත්, නොකඩවා වසර 50 ක කාලයක්‌ නාට්‍ය වේදිකාගත කිරීමට හැකි වී ඇත්තේ හිටපු සහ දැනටත් නාට්‍යයට සම්බන්ධ වී කටයුතු කරන නළු නිළියන්, ගායන-වාදන ශිල්පීන්, වේදිකා පරිපාලන ශිල්පීන් හා නාට්‍ය සංවිධායකයන්ගේ නොමසුරු කැපවීම හේතුවෙනි." යෑයි ඇය තවදුරටත් පැවසීය.

කෑගලු විද්‍යාලයේ භූගෝල විද්‍යා ගුරුවරයා ලෙස සේවයේ යෙදී සිටි කාලයේදී ගැමි ජනකථා දෙකක්‌ ආශ්‍රයෙන් නරිබෑනා රචනා කළ දයානන්ද ගූණවර්ධනයන්, පසුව ලයනල් අල්ගමයන්ගේ තනු නිර්මාණයෙන් ද බැසිල් මිහිරිපැන්නයන් ගේ නර්ථනයෙන් ද හැඩ ගන්වා 1960 නොවැම්බර් 4 වැනිදා තර්ස්‌ටන් විද්‍යාලයේදී පාසැල් දර්ශනයක්‌ ලෙස වේදිකා ගත කළේය. ඉන්ඉක්‌බිති ආධුනික නාට්‍ය සංගමය විසින් 1961 දී නරිබෑනා ප්‍රසිද්ධ වේදිකාගත කොට වසරකුත් මාස අටකින් (1962 නොවැ. 24) ශතක ජයන්තිය ද සමරනු ලැබීය.

එකල දිවයිනේ සෑම 125 දෙනෙකුගෙන්ම එක්‌ අයෙක්‌ නරිබෑනා නරඹා ඇති බව පුවත් පත් වාර්තා කළ අතර, 60 දශකයේ ජනප්‍රියතම නාට්‍ය ලෙස කිරුළු පැළඳීය. 1963 දී "නරිමාපුලේ" නමින් දෙමළ භාෂාවෙන් වේදිකා ගතවුණ නරිබෑනා. 1973 දේශපාලන අර්තකථනයක්‌ සහිතව ද, 1978 දී ජර්මන් භාෂාවට පරිවර්තනය කොට බටහිර ජර්මනියේ නළු නිළියන් යොදවා සංස්‌කෘතික හුවමාරුවක්‌ යටතේ ද, දයානන්ද ගුණවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලදී. නරිබෑනා පාසල් විෂය පෙළ පොත්වලට ද ඇතුළත් කර ඇති නාට්‍යයකි. මෙදින රංගනයෙන් හා ගායනයෙන් බන්දුල විඡේවීර, රොඩ්නි වර්නකුල, නීල් අලස්‌, සරත් කුලාංග, රත්නශීලා පෙරේරා, µර්නි රෝෂිනී, කුමාර ලියනගේ, ඉන්දික ජයසිංහ, ඉන්දික රාමනායක, ශාලිකා වනිගරත්න, කාන්ති ජයවික්‍රම, සුජානි නිසංකා, මහේෂ් අමරකෝන් සහභාගි වන අතර සංගීතය මෙහෙයවීම පුබුදු රොෂාන් වල්පිට ගෙනි. ප්‍රකාශ් ගල්ගේවෙල වේශ නිරූපනයෙන් ද වසන්ත කුමාරගේයෙන් වේදිකා ආලෝකයෙන් ද එකලු වන නරිබෑනාගේ වේදිකා පරිපාලනය හා රංග අලංකරණ අසෝක ජයසිංහගෙනි.

සුජීව තත්සර
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.