සංස්‌කරණය : නාරද නිශ්ශංක

ආනන්ද සමරකෝන් ස්‌මාරකයක්‌ හදමු
ගුවන් විදුලියේ "හඬ" අවදි කළ වටිනා සඳහනක්‌

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව එළි දක්‌වන විශිෂ්ට වූ නිර්මාණ සංඛ්‍යාවක්‌ ඇතුළත් සඟරාවක මංගල කලාපය ඉකුත් සතියේ කියවීමට අපට අවස්‌ථාව ලැබුණි. "හඬ" නම් වූ මෙම ගුවන් විදුලි සඟරාව මෙවර වෙන් කර ඇත්තේ ආනන්ද සමරකෝන් ජන්ම ගත සංවත්සර කලාපය වශයෙනි.

ගුවන් විදුලිය රජය සතු සන්නිවේදන ආයතනයක්‌ වුවත් මෙම සඟරාව දේශපාලන ගැති බවකින් තොරව අර්ථවත් පණිවුඩයක්‌ සන්නිවේදනයක්‌ ජනතාවට දෙන පරිදි "හඬ" සඟරාව එළිදක්‌වා තිබීම අගය කළ හැක්‌කකි. ගුවන් විදුලි සභාපති හඩ්සන් සමරසිංහයන් මෙහි ලියා ඇති "අපේ ගුවන් විදුලියට ආනන්ද සමරකෝන් ආභරණයක්‌" යන සටහනේ සිට ස්‌වාභාවෝක්‌ති අලංකාරය ආත්ම ප්‍රකාශනය කරගත් සෞන්දර්යවාදියා, (කෝලිත භානු දිසානායක) ආනන්ද සමරකෝන් දිවිමග ජවනිකා, (ඡායාරූප හා සිත්තම්) ලෝකයේ ජාතික ගී වගතුග, ආනන්ද සමරකෝන් ගීතාවලිය හඬ නළුව හැඩ කළ සුගතපාල ද සිල්වා (පියසිරි නාගහවත්ත) අරන්තලාවේ මහා සංඝ ඝාතනය (ගරු මර්සලින් ජයකොඩි පියතුමා) ටැලි විෂන් හෙවත් රූපවාහිනී (පී. වැලිකල) ගුවන් විදුලියේ යළි ඉපදීම (ආචාර්ය අජන්තා හපුආරච්චි) ජාතික ගීයේ ආනන්ද සමරකෝන් ගී මෙහෙවර (ශාස්‌ත්‍රපති නන්දසේන පලිහක්‌කාර) ආදී තවත් විශේෂාංග ලිsපි මෙහි ඇත්තේය.

අපගේ ගෞරවාදරයට පාත්‍රව සිටින කෘතහස්‌ත පත්‍ර කලාවේදියකු වන තිලකරත්න කුරුවිට බණ්‌ඩාරයන් ප්‍රධාන සංස්‌කාරක ලෙස කටයුතු කරන "හඬ" සඟරාවේ උපදේශක වරයා වන්නේ හඩ්සන් සමරසිංහ මහතාය. ගුවන් විදුලියේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ කුමාරදාස සපුතන්ත්‍රීගේ අධීක්‍ෂණය මත "හඬ" සඳහා සංස්‌කරණයෙන් සහාය වන්නේ ලාල් මල්ලවාආරච්චි මහතාය. චන්දික ප්‍රනාන්දු එහි ඡායාරූප ශිල්පියා වෙයි. ප්‍රේම් දිසානායක යන්ගේ µdස්‌ට්‌ ඇඩ්ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ් හි දැකුම්කළු මුද්‍රණ නිමාවකින් යුතු "හඬ" සඟරාවේ කතුවැකියේ ඇතුළත මේ ජන්ම ගත සංවත්සරයේදී සමරකෝන් ස්‌මාරකයක්‌ හදමු මැයෙන් වූ සටහනෙන් උපුටාගත් පහත ඡේදය කිහිපය මෙලෙස පළ කරමු.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ මැදිරියක්‌ ආනන්ද සමරකෝන් මැදිරිය ලෙස නම් කර මේ අද්විතීය කලාකරුවාට ආචාරය පුදකර ඇත.

එතුමන් වැඩි කාලයක්‌ ජීවත්වූයේ කෝට්‌ටේ නුගේගොඩ ප්‍රදේශයේය. ඈත අතීතයේ ඔහුගෙන් සංගීතය හදාළ ශිෂ්‍යයකු හා හිටපු ඇමැතිවරයකු කථානායක වරයකු වූ ආනන්ද තිස්‌ස ද අල්විස්‌ මහතා නුගේගොඩ මහවෙළෙඳසල ඉදිරිපිට එළිමහන් රංග පීඨය ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ලෙස නම් කළේය. සමරකෝන් ගේ මුල්ම පාසල ආනන්ද සමරකෝන් පාසල ලෙස නම්කර ඇතත් එය වැහෙන්න ඔන්න මෙන්න තත්ත්වයට පත්වී තිබීම පිළිබඳ බලධාරීන්ගේ අවධානය නොපමාව යොමුවිය යුතුය. මෙරට ජනතාව සුභාවිත ගීතය හඳුන්වා දුන් අපේ ජාතික ගීය නිර්මාණය කිරීමෙන් කීර්තිමත්වූ එම කලාකරුවාට ගෞරවාචාරය පුද කෙරෙන ස්‌මෘති ස්‌මාරකයක්‌ ඉදිකළ යුතුය. කොළඹ ප්‍රධාන මාර්ගයක්‌ එතුමා නමින් නම් කොට ජාතියේ ගෞරවය පුද කළ යුතු බව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ "හඬ "යෝජනා කර සිටී.

ඉසුර ලකිත නිශ්ශංක

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.