සංස්‌කරණය : නාරද නිශ්ශංක

නිහඬව අවසන් ගමන් ගිය ශ්‍රියා ප්‍රනාන්දු

වර්ෂ 1962 දශකයේ තිරගත වූ සිකුරු තරුව, සීගිරි කාශ්‍යප, සුහද දිවිපිදුම, සුනීලා චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ ශ්‍රියා ප්‍රනාන්දු නම් වූ සුරූපී සිනමා නිළිය පිළිබඳ මතක සටහන් යළි අවදිකරවීමට මෙසේ සිත් වූයේ පසුගිය දා ඇය සිය කලා දිවියෙන් නිහඬව අවසන් ගමන් ගිය බව දැනගත් පසුවය.

වර්ෂ 1940 ජුලි මස 07 වැනිදා මරදාන මාලිගාකන්දේ උපත ලද ඇය මූලික අධ්‍යාපනය ලැබුයේ මරදාන ශ්‍රී සංඝරාජ මධ්‍ය මහා විදුහලෙනි.

පාසල් කාලයේ පටන් වේදිකා නාට්‍යවල රඟපෑ ඇය මුලින්ම වේදිකා රංගනයට පිවිසුනේ එවකට ජෝ ගුණසේකර නම් කතුවරයාගේ කෘතියක්‌ ඇසුරින් පින්නමැද නරිබෝනා නාට්‍ය සංගමය මගින් නිෂ්පාදනය කළ "ස්‌වර්ණ රේඛා" නම් වේදිකා නාට්‍යයෙනි.

ඉන්පසු ඕපාත කොටුගොඩ චන්ද්‍රා නාට්‍ය සංගමය නිෂ්පාදනය කළ "චිත්‍රලේඛා" ඓතිහාසික නාට්‍යයේ රඟපාමින් ඇය මෙසේ වේදිකා කරළිය තුළින් සිය කුසලතා පෑවාය.

හෙළ සිනමාවට පිවිසීමට භාග්‍ය ලද ශ්‍රියා ප්‍රනාන්දු නම් වේදිකා නිළිය එදා යුගයේ ඇයව හැඳින් වූයේ කරළියෙන් සිනමාවට එක්‌වූ නිළියක්‌ ලෙසය.

එකල සිටි චිත්‍රපට නිෂ්පාදක ජෝන් අමරතුංගයන් ශ්‍රියා ප්‍රනාන්දු නම් වූ වේදිකා නිළිය සිංහල සිනමාවට හඳුන්වා දුන්නේ "සිකුරු තරුව" නම් චිත්‍රපටය තුළිණි.

එහිදී ඇයගේ රංගන කුසලතා හඳුනාගත් චිත්‍රපට නිෂ්පාදකවරු සීගිරි කාශ්‍යප (වෝල්ටර් මේදිස්‌), සුහද දිවිපිදුම (රොබින් තම්පෝ), සුනීලා (හෙන්රි චන්ද්‍රවංශ) චිත්‍රපටවල රඟපෑම සඳහා තෝරා ගත්තාය. ගාමිණී ෙµdන්සේකා, ඩී. ආර්. නානායක්‌කාර, පුන්‍යා හීන්දෙනිය, මිලී කහඳවල, ජෙසිකා වික්‍රමසිංහ, නෙල්සන් කරුණාගම, හෙන්රි ජයසේන, ලැම්බට්‌ මොරමුදලි, ෂෙල්ටන් සිල්වා යන සිනමා කලාකරුවන් සමග මේ නිසා ඇයට රඟපාන්නට වාසනාව උදා වූවාය.

ඉතා කෙටි කලක්‌ තුළ ඇය රඟපෑ චිත්‍රපට කිහිපය තුළින් එදා ඇය පෙන්නූ කුසලතාවයන් නිසා ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබා ගන්නට තරම් ඇය සමත් වූවාය.

ශ්‍රියා ප්‍රනාන්දු නම් වූ මේ සුරූපී නිළියගේ හෙළ සිනමා දිවිය එතරම් දිගු ගමණක්‌ නොවූවත් විවාහයෙන් පසු කෙටි කලෙකින්ම සිනමා තිරයෙන් නිහඬවම සමුගත් ඇය ඉන්පසු සිය දිව පෙවතද නිහඬව ගත කළාය. මිය යනවිට 71 වැනි වියේ පසුවුවාය.

ජී. ඒ. කිංස්‌ලි පෙරේරා

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.