සංස්‌කරණය : නාරද නිශ්ශංක

නිවී ගියා නුඹ පහන් සිලක්‌ සේ...


ඩිලාන්


මනිල් ජීවංක

ඩිලාන් (කවයෙන් දැක්‌වෙන) තම දෙමව්පියන් හා එක්‌ව එදා කහවත්තේදී පොත් බෙදාදීමට එක්‌වූ අවස්‌ථාවකි. පිංතූරය - කහවත්ත කේ. ඩී. ප්‍රේමසිරි

අප තනි වූවා
ගණ අඳුරේ...
සිඳී ගියා නුඹ
දිය දහරක්‌ සේ
අප තනි වූවා
ගිම්හානේ...
 
පෙර එක්‌ දවසක
පහන් සිලක්‌ වී
අප හද නුඹමය පහන් කළේ
ඉන් මතු දවසක
අප තනි කරදා
නුඹ ඇයි මේ ලෙස
නිවී ගියේ...
පෙර එක්‌ දවසක
මල් පොකුරක්‌ වී
නුඹමය අප හද
සුවඳ කළේ
නුඹ සමුගත්දා
ඒ මල් පරවී
පර මල් සුවඳයි ඉතිරි වුණේ

සිනමා සක්‌විති ගාමිණී ෙµdන්සේකා එදා රඟපෑ දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්‌ෂණය කළ "දෙමෝදර පාලම" චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ රත්නපුර කහවත්තේ විනිල් මැණික්‌ අධිපති ඩබ්ලිව්. විනිල් මහතාගේ කනිටු පුතණුවන් ඩිලාන් චතුරංග සහ ඔහුගේ මිතුරකු වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු කොමදෝරු හා දීර්ඝ කාලයක්‌ එල්ටීටීඊ අත්අඩංගුවේද සිට ජීවිතය බේරා ගත් අජිත් කුමාර බෝයගොඩ මහතාගේ දෙටු පුත් මනිල් ජීවංක බණ්‌ඩාර බෝයගොඩ ඉකුත්දා රිය අනතුරකින් ජීවිතක්‌ෂයට පත්විය. ඩිලාන් පැදවූ මෝටර් රථය අහුන්ගල්ලේදී පාරෙන් ඉවතට පැන සිදුවුණු මෙම අනතුරින් රථයේ සිටි තවත් කිහිප දෙනකුද තුවාල ලැබීය.

මීට වසර කිහිපයකට පෙර ඩිලාන් පුතා අපට හමුවූ දිනය තවමත් මතකය. තම පියා සොහොයුරා හා සොහොයුරියද මවද සමඟ ඔහු අප සමඟ කතා කළේ ආදරණීය සෙනෙහසකිනි. මහත්වූ ගෞරවයකිනි. තම නිවසේ උපන්දින සාද වෙනුවට ඒ සඳහා වැය කළ ධනය රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ හෝ වෙනයම් පළාතක අසරණ දරුවන්ට පොත පත ඇඳුම් පැලඳුම් ලබා දීමට වැය කිරීමට තම පියා ගත් උතුම් පියවරට ඩිලාන් පුතා හා ඔහුගේ අයියාත්, සොහොයුරිය දෙමව්පියන්ද මහත් සොම්නසකින් යුතුව එක්‌වූ අන්දම මට අද මෙන් මතකය.

ඒ වනවිට රාජකීය විදුහලේ ඉගෙනුම ලබමින් සිටි පුංචි ඩිලාන් එම උතුම් කටයුතුවලට මහත් උනන්දුවකින් හා ආශාවකින් එක්‌ව අසරණ ජනතාවට උපකාර කරන්නට එක්‌වූ අවස්‌ථා අපමණය. 1991 ජනවාරි 30 වැනිදා ජන්ම ලාභය ලබා කාගේත් නොමද ආදරයට පාත්‍ර වූ ඩිලාන් අකල්හි වියෝවීම කාටත් මහත් කම්පනය ගෙන දෙන ශෝකජනක සිදුවීමක්‌ විය. අති විශාල පිරිසකගේ සෝ සුසුම් මැද ඩිලාන් චතුරංගගේ අවසන් කටයුතු කහවත්තේදී සිදුවිය. මනිල් ජීවංක බණ්‌ඩාර බෝයගොඩගේ අවසන් කටයුතු කොළඹදි සිදු වූයේ ද විශාල පිරිසකගේ සෝසුසුම් මධ්‍යයේය.

ඩිලාන්ගේ දේහයට ගෞරව දැක්‌වීමට කහවත්තේ නිවසට ගිය අවස්‌ථාවේ ඔහුගේ පියා මව ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් ලියා අපට පිරිනැමූ (ඡායාරූපයක්‌ද සමග මුද්‍රණය කර තිබූ) වැකිය මෙම සටහන ඇරඹුමේදී දැක්‌වීමු.

- නාරද නිශ්ශංක

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.