පින්කම් අංක 3

අප පෙරේදාත් (30) ලියුවේ සෞඛ්‍යයට අදාළ මාතෘකාවක්‌ වූ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගැනය. අදත් සෞඛ්‍යය ගැනම ලියන්නට සිදුවී තිබේ. පසුගිය වසර 05 තුළදී ශ්‍රී ලංකාවේ රෝහල් 95 ක්‌ වැසී ගිය බවත් රෝගීන් සංඛ්‍යාව 20% කින් ඉහළ ගිය බවත් ඊයේ දිවයිනේ මුල් පුවත ලෙස සඳහන් විය. අවශ්‍ය ඖෂධ සහ මානව සම්පත් නො මැති වීම මෙයට හේතුව බවද පුවතේ තිබිණ. ඉස්‌කෝලයක්‌ වැසෙන විට හිරගෙයක්‌ අලුතින් ඇරෙන බවට කියමනක්‌ තිබේ. මේ අනුව රෝහලක්‌ වැසෙන විට සුසාන භූමියක්‌ අලුතින් ඇති කළ යුතු බවට තර්කයක්‌ ගොඩනැගිය හැකිය. වසර 05 ක්‌ තුළ රෝහල් 95 ක්‌ වැසී ගියා නම් අවම වශයෙන් සුසාන භූමි 95 ක්‌ අලුතින් ඇති කළ යුතුය. ඒ අනුව ලෝකයේ සුසාන භූමි වැඩිම සංඛ්‍යාවක්‌ ඇති රට බවට ලංකාව පත් වනු ඇති. කෙසේ වුවද වැසී ගිය රෝහල් සියල්ල ම යළි නගාසිටුවන ලෙස සෞඛ්‍ය ඇමැතිතුමා විසින් නියෝග කරනු ලැබ තිබේ.

නොමිලයේ සෞඛ්‍ය සේවාව සපයන රටවල් ලොව ඇත්තේ ස්‌වල්පයකි. ඒ ස්‌වල්පයෙන් ද ලංකාවේ මට්‌ටමින් නොමිලයේ රෝහල් පහසුකම් සපයන එකම රට කියුබාව විය යුතුය. එහෙත් වසර කිහිපයක සිට අපේ රටේ ඇතැම් රාජ්‍ය රෝහල්වලින් සැපයෙන සෞඛ්‍ය සේවය රෝග නිශ්චයට සහ ප්‍රතිකාර නිර්දේශයට පමණක්‌ සීමා වී තිබේ. එයට ප්‍රධාන හේතුව ඖෂධ නැති වීමය. රෝහලේ නැති ඖෂධ රෝහල ඉදිරිපිට ඇති ෆාමසියෙන් ලබාගත හැකිය. ඒ තත්ත්වය හටගෙන ඇත්තේ රෝහලේ වරද නිසා නොවේ. අවශ්‍ය බෙහෙත් ගැනීමට ෆාමසි හිමිකරුට වත්කම තිබේ. එහෙත් ඒ වත්කම සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත. අවසාන මොහොතේ පණ අදිමින් සිටින රෝගියකු බේරාගැනීමට ඔහුගේ ඥතීන් ඕනෑම දෙයක්‌ කිරීමට සූදානම් ය. ඇතැම් එන්නතක්‌ රුපියල් තිස්‌ හතළිස්‌ දහසක්‌ තරම් ඉහළ නම් රත්තරන් බඩු පවා උකස්‌ කර ඒ බෙහෙත දී ඥතියා ගොඩගැනීමට ඔවුහු කැමැත්තාහ. එහෙත් උකස්‌ කිරීමට රත්තරන් බඩු හෝ බැංකුවේ මුදල් නොමැති අය කරන්නේ කුමක්‌ද? ඔවුන්ට ඇත්තේ රජයේ රෝහලේ පිහිට පමණි. ෆාමසියේ රුපියල් තිස්‌ හතළිස්‌ දහසක්‌ වන ජනප්‍රිය වෙළෙඳ නාමයන් යටතේ එන එන්නත් ඖෂධ නාමය යටතේ පිටරටින් ගෙන්වන විට සෞඛ්‍ය අමාත්‍යංශයට වැයවන්නේ රුපියල් දෙතුන් දහසක්‌ පමණි. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ නැති කමින් එවැනි දේ කිරීමට මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට මෙතෙක්‌ නොහැකි විය. දැන් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමට නියමිත බැවින් රජයේ රෝහල්වල අනාගතය එතරම් අඳුරු නොවනවා ඇත.

අපේ රටේ රජයේ රෝහල්වල වෛද්‍ය, හෙද කාර්ය මණ්‌ඩල ඇතුළු සියලු කාර්ය මණ්‌ඩල විශාල කැපවීමකින් කටයුතු කරන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඇතැම් රෝහල් සේවකයන්ගේ චිත්තභාවය නම් ඉතාම රෝගීය. රෝහල් ක්‍රමය තුළ තවමත් අල්ලස්‌ පවතී. රෝහල් සේවකයා කටින්ම අල්ලස්‌ ඉල්ලන අවස්‌ථා විරල ය. එහෙත් ඔහු අනියම් ආකාරයෙන් රෝගීන්ගෙන් උපකාරයක්‌ බලාපොරොත්තු වෙයි. වරක්‌ මේ උපකාරය කළ විට එය වහාම පුරුද්දට යයි. උපකාරය කරන තාක්‌කල් රෝගියාට සැලකිලි ලැබෙන අතර එය නැවතුණ වහාම සැලකිලි ද නවතී. ඇතැම්විට ඇතැම් රෝහල්වල සුළු සේවකයන් රෝහල් අධ්‍යක්‍ෂට වඩා බලසම්පන්නය. ලෙඩාට උණු වතුර සැපයීමට රෝහල් අධ්‍යක්‍ෂට නොහැක. එහෙත් සුළු සේවකයාට එය කළ හැකිය. ලෙඩාට ඇඳුම් දීමට රෝහල් අධ්‍යක්‍ෂට නොහැක. ඒ වාට්‌ටුවේ සිටින ඇඳන් හිමි විය යුතු රෝගියා සහ ඇඳන් හිමි නොවිය යුතු රෝගියා ගැන රෝහල් අධ්‍යක්‍ෂ නොදන්නා නිසාය. එහෙත් සුළු සේවකයා මේ සියල්ල දනී. ඒ නිසා වාට්‌ටුවේ සිටින මිසීලාට වධකර රෝගීන්ට ඇඳන් ලබා දීමට මැදිහත් වීමට සුළු සේවකයන්ට පුළුවන. අප මේ දැන්වූවේ ඉතා සුළු කාරණා පමණි. මේ රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ ඇති අඩුපාඩු මේ වන විට අපට වඩා ඇමැතිතුමා දනී.

යුද්ධය දිනවීම පිංකමක්‌ බවත්, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීම එබඳුම පිංකමක්‌ බවත් අපි ඊයේ මේ තීරුවෙන් කීවෙමු.වැසෙන රෝහල් යළි විවෘත කිරීම ද පිංකමකි. පෙර කී පිංකම් අංක එක සහ දෙක ලෙස හැඳින්විය හැකි නම් අවසන් පිංකම අංක 3 ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.