වතු කම්කරුවකුගේ දිනක වැටුප රු. 750 දක්‌වා වැඩි කරන්න

මධ්‍යම විපක්‍ෂ නායක හාම්පුතුන්ගෙන් ඉල්ලයි

පියසේන දිසානායක

වතු කම්කරුවකු දැනට ලබන රුපියල් 405 ක දිනක වැටුප රු. 750 ක්‌ දක්‌වා වැඩිකරන ලෙස මධ්‍යම පළාත් සභාවේ විපක්‍ෂ නායක කේ. කේ. පියදාස මහතා වතු හාම්පුතුන්ගේ සම්මේලනයෙන් විශේෂ ඉල්ලීමක්‌ කරයි.

මෙම වැටුප් වැඩිකිරීම සම්බන්ධව මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අතරද පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කළ බව හෙතෙම පැවැසීය.

වතු කම්කරු වැටුප් වැඩි කිරීම ඇතුළු සෙසු වරප්‍රසාද පිළිබඳව හාම්පුතුන් හා වතු වෘත්තීය සමිති අතර වසර දෙකකට වරක්‌ ඇතිකරගන්නා සාමූහික ගිවිසුම පසුගිය 28 වැනිදායින් අවසන්වූ බව පවසන ඒ මහතා එම ගිවිසුමට අනුව දිනකට කම්කරුවකුට ලැබෙන රු. 405 ක වැටුප් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්නේය.

මෙම 405 වැටුප් ලබා ගැනීමට නම් කම්කරුවකු අවම වශයෙන් මසකට දින 22 ක්‌ සේවයට වාර්තා කළ යුතු බවත් එලෙස පැමිණීමට නොහැකි වුවහොත් ඒ අයගේ දිනක වැටුප රු. 285 ක්‌ බවත් පියදාස මහතා පැවැසීය.

පවතින ආර්ථික පසුබිම හා බඩු මිල ඉහළ යැමට සාපේක්‌ෂව මෙම වැටුප ජීවත්වීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම නිසා ඉදිරි දෙවසර සඳහා අත්සන් තබන නව සාමූහික ගිවිසුම යටතේ රු. 750 ක වැටුප් ලබාදීමට ක්‍රියා කළයුතු බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.