බටුවත්ත දුම්රිය හරස්‌ මාර්ගයේදී බස්‌ රියක්‌
දුම්රියේ ගැටී මගීන් 4 කට බරපතල තුවාල


දුම්රියේ ඇමිණී බස්‌ රිය මීටර් 500 ක්‌ දුරට ඇදී ගිහින්

හේමන්ත රන්දුණු ,ලසිත දුමින්ද ,රුක්‌මන් පින්තු සහ රාගම රචඩ්

රාගම බටුවත්ත දුම්රිය ස්‌ථානය අසල දුම්රිය හරස්‌ මාර්ගය ඔස්‌සේ අනාරක්‍ෂිත ආකාරයට ධාවනය කළ බස්‌ රථයක්‌ මාතර සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් බස්‌ රථයේ ගමන් කළ පුද්ගලයන් සිව් දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ 31 වැනිදා සවස 2.45 ට පමණය. දුම්රියේ ගැටුණු බස්‌ රථය මීටර් 500 ක්‌ පමණ දුර දුම්රිය මාර්ගය දිගේ ඇදී ගොස්‌ නතර වී ඇත. බස්‌ රථය දුම්රියේ ඇමිණී බටුවත්ත දුම්රිය ස්‌ථානයේ වේදිකාවද කඩාගෙන ඉදිරියට ගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කළ අතර එක්‌ අයකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. අනතුරට ලක්‌වූ බස්‌ රථය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

දානමය පිංකමකට සහභාගි වීම සඳහා යැමට සූදානමින් සිටි පිරිසක්‌ කැඳවාගෙන ඒමට මෙම බස්‌ රථය බටුවත්ත ප්‍රදේශයට යමින් සිටියදී අනතුර සිදුවී ඇත.

අනතුරින් බස්‌ රථයේ රියෑදුරු සහ කාන්තාවන් තිදෙනකු තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

රාගම පොලිස්‌ ස්‌ථානාධිපති නිශාන්ත රත්නපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.