ලංකා ඊ නිවුස්‌ ප්‍රවෘත්ති කර්තෘ අත්අඩංගුවට

හේමන්ත රන්දුණු

ලංකා ඊ නිවුස්‌ කාර්යාලයට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට සහ පවුලේ ඥතීන්ට බලපෑම් එල්ල කිරීම, තොරතුරු වසන් කිරීම යන චෝදනා මත ලංකා ඊ නිවුස්‌ හි ප්‍රවෘත්ති කර්තෘ බෙනට්‌ රූපසිංහ මහතා වැල්ලම්පිටිය පොලිසිය මගින් ඊයේ (31 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

බෙනට්‌ රූපසිංහ මහතා නීතිඥයකු මාර්ගයෙන් වැල්ලම්පිටිය පොලිසිය වෙත ඊයේ උදේ ඉදිරිපත් වීමෙන් පසු ඒ මහතා අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

මාලබේ දහම් මාවතේ පිහිටි ලංකා ඊ නිවුස්‌ කාර්යාලයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ භූතයා සහ තවත් පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරුගේ සොහොයුරාට සහ පවුලේ සාමාජිකයන්ට නාඳුනන පිරිසක්‌ දිගින් දිගටම තර්ජනය කරමින් විවිධ බලපෑම් එල්ල කර තිබිණි. "භූතයා" පොලිසිය වෙත ලබාදුන් කටඋත්තර ව්‍යාජ ඒවා බව අධිකරණය ඉදිරියේ පවසන ලෙසට මෙම බලපෑම් එල්ල කළ පුද්ගලයා පවසා ඇත.

මේ පිළිබඳව භූතයා නමැති සැකකරුගේ සොහොයුරා වැල්ලම්පිටිය පොලිසිය වෙත අවස්‌ථා කීපයකදී පැමිණිලිකර තිබිණි.

මෙම තර්ජනාත්මක ඇමැතුම් ලබාදෙන පුද්ගලයන් පිළිබඳව පරීක්‍ෂණ කරද්දී ඔවුන් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සාමාජිකයන් පිරිසක්‌ බව හෙළිදරව් වී ඇත.

එම පාතාල සාමාජිකයන් සමග බෙනට්‌ රූපසිංහ මහතා සම්බන්ධතා පවත්වන බවට ලැබුණු තොරතුරක්‌ මත ඒ මහතා අත්ඩංගුවට ගත් බවද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු පැවැසීය.

සැකකාර රූපසිංහ මහතා නුගේගොඩ අධිකරණය වෙත ඊයේ සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නුගේගොඩ කොට්‌ඨාසභාර පොලිස්‌ අධිකාරී දෙශබන්ධු තෙන්නකෝන් සහකාර පොලිස්‌ අධිකාරී නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති රංජිත් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.