මදුරු මර්දන සතියේදී 4405 දෙනකුට නඩු

ඒමන්ති මාරඹේ සහ අජිත් අලහකෝන්

දිවයින පුරා පැවැති මදුරු මර්දන සතිය අවසානයේදී මදුරු කීටයන් සහිත ස්‌ථාන හත්දහසක්‌ හඳුනාගෙන ඇති සෞඛ්‍ය අමාත්‍යංශය එම ස්‌ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 4405 කට එරෙහිව නඩු දැමීමට තීරණය කර ඇත.

නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අයගෙන් තුන්සිය විසිදෙනෙක්‌ විදුහල්පතිවරුන් බවද තවත් හත්සිය හැටහත්දෙනකු බස්‌ඩිපෝ කළමනාකරුවන් සහ ටයර් අලෙවිසල් හිමියන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ "දිවයින" ට ප්‍රකාශ කළේය.

මදුරු මර්දන සතිය පසුගියදා දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද අතර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හැටපහක ස්‌ථාන දෙලක්‍ෂ හැටතුන්දහස්‌ දෙසීය දහතුනක්‌ පරීක්‍ෂාවට ලක්‌ කර ඇත.

ත්‍රිsවිධ හමුදා නිලධාරීන්, පොලිස්‌ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා නිලධාරීහු මෙම මදුරු මර්දන සතිය තුළදී දිවයින පුරා ස්‌ථාන පරීක්‍ෂාවට ලක්‌ කළහ. එහිදී මදුරුවන් බෝවිය හැකි ඉතා අවදානම් ස්‌ථාන හැට එක්‌දහස්‌ හත්සිය අසූවක්‌ හඳුනාගෙන ඇත.

ඉදිරියේදී නිරිතදිග මෝසම් වර්ෂාව සමග මදුරුවන් බෝවිය හැකි නිසා ඉහත ස්‌ථාන සියල්ල සති දෙකක්‌ තුළදී ශුද්ධ පවිත්‍ර කළ යුතු බව ද සතියකට වරක්‌ විනාඩි තිහක කාලයක්‌ සෑම නිවසකම හා ගෙවත්තක්‌ම පරීක්‍ෂාවට ලක්‌කර පවිත්‍ර කිරීම නිවෙස්‌ හිමියන් විසින් අනිවාර්යයෙන්ම කළ යුතු බවත් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන්නැයි ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

මදුරු මර්දන සතිය සාර්ථක කර ගැනීමට සහාය දැක්‌වූ සියලුම නිලධාරීන්ට පෞද්ගලිකව ස්‌තුතිය පළ කර ලිsපි යෑවීමට ද සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කරමින් සිටින බවද ඉහත නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර ජාතික මදුරු මර්දන සතිය තුළදී කොළඹ නගරයේ පාසල්, පූජනීය ස්‌ථාන ඇතුළු ආයතන 201 කට එරෙහිව නඩු පැවරීමට අදාළ නොතීසි නිකුත් කළ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින" ට පැවසීය.

මෙසේ නොතීසි නිකුත් කරන ලද ආයතන අතර කොළඹ නගරයේ ප්‍රධාන පාසල් 10 ක්‌ ද වන බව වෛද්‍ය කාරියවසම් කීවේය. ඉකුත් 23 වැනිදා සිට 29 වැනිදා දක්‌වා පැවැති ජාතික මදුරු මර්දන සතිය තුළදී පාසල්, පූජනීය ස්‌ථාන, රාජ්‍ය හා පුද්ගලික ආයතන, හිස්‌ ඉඩම් ඇතුළු ස්‌ථාන 1855 ක්‌ පරීක්‍ෂාවට ලක්‌ කෙරුණු අතර ඒවා අතරින් ස්‌ථාන 67 ක ඩෙංගු, බරවා හා මැලේරියා මදුරුවන් බෝවී සිටි බව ද හෙතෙම සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.