තැපැල්පතිට ඉවත්වන්නැයි සේවකයෝ විරෝධය පාති

තැපැල්පතිවරයා එම තනතුරින් ඉවත්කර තැපැල් දෙපාර්තමේන්තුවේ අකාර්යක්‍ෂම පරිපාලනය විධිමත් කරන ලෙස බලකරමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතාවත් ඊයේ (30 දා) කොළඹ තැපැල් මූලස්‌ථානය ඉදිරිපිටදී පැවැත්විණි. මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට පාගමනින් පැමිණ මෙම විරෝධතාව පැවැත්විණි.
ඡායාරූප - සුජාතා ජයරත්න

ප්‍රියදර්ශන ලියනගේ

තැපැල් සේවකයන්ගේ හඬට කන්දී මහත්මයකු ලෙස තැපැල්පතිවරයා තනතුරින් ඉල්ලා අස්‌නොවුණොත් සියලුම තැපැල් සේවකයන් මහ පාරට බැස තැපැල්පතිවරයා ඉල්ලා අස්‌වීමේ ලිපිය භාරදී ගෙදරයන තුරු අඛණ්‌ඩ තැපැල් වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ ලේකම් චින්තක බණ්‌ඩාර මහතා පැවැසීය.

චින්තක බණ්‌ඩාර මහතා මෙම අදහස්‌ පළ කළේ තැපැල් පතිවරයාට තම තනතුරින් ඉල්ලා අස්‌වන ලෙස බලකරමින් ඊයේ (30) තැපැල් වෘත්තීය සමිති එකමුතුව තැපැල් මූලස්‌ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා රැලිය අමතමිනි.

තැපැල්පතිවරයා එම තනතුරින් ඉවත්කර තැපැල් දෙපාර්තමේන්තුවේ අකාර්යක්‌ෂම පරිපාලනය විධිමත් කරන ලෙස ඉල්ලා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සංදේශයක්‌ භාරදීම සඳහා මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

නමුත් පොලිසිය ජනාධිපති මන්දිරය දක්‌වා පෙළපාළියෙන් ගමන් කිරීමට ඉඩ නොදීම නිසා මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ සිට පෙළ පාළියෙන් තැපැල් මූලස්‌ථානය වෙත පැමිණ තැපැල් සේවකයෝ විරෝධතා රැලියක්‌ පැවැත්වූහ.

එහිදී අදහස්‌ දැක්‌වූ එක්‌සත් ජාතික තැපැල් සේවක සංගමයේ එච්. ආර්. නිහාල් මහතා,

රාජ්‍ය ආයතනයක්‌ ලෙස කීර්තිමත් නාමයක්‌ දිනාගෙන සිටි තැපැල් දෙපාර්තමේන්තුව වත්මන් තැපැල්පතිවරයා මේ වනවිට විනාශ කර දමා තිබෙනවා.

විරෝධතා රැලිය අවසානයේ තැපැල් වෘත්තීය සමිති නායකයන් තිදෙනකුට ජනාධිපතිවරයා වෙත සංදේශයක්‌ භාරදීමට අවශ්‍ය පහසුකම් පොලිසිය විසින් සලසා දෙන ලදී.

මේ අවස්‌ථාවට තැපැල් සේවකයෝ විශාල පිරිසක්‌ සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.