දුම්රිය තාක්‍ෂණ ශිල්පීන් අකුරට වැඩ

අකිත පෙරේරා

දුම්රිය තාක්‍ෂණ ශිල්පීන් විසින් පෙරේදා (30 දා) රාත්‍රි සිට අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක්‌ ආරම්භ කළද දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලන මැදිරිය පවසයි.

කෙසේ වෙතත් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවෙතැයි දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමයේ සභාපති එම්. ඒ. රත්නසිරි මහතා "දිවයින"ට කීය.

සේවකයින් හාරදහසක්‌ පමණ මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය සඳහා අවතීර්ණ වී සිටින බවද ඉන් දුම්රිය ගමනාගමනය සඳහා බාධා පැමිණීමට දින කිහිපයක්‌ ගත වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

දුම්රිය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ පෙන්වා දෙන්නේ 06/2000 දරන වැටුප් චක්‍රලේඛය මගින් සේවකයින් 12000 කට ආසන්න පිරිසක්‌ වැටුප් විෂමතාවකට ලක්‌ව සිටින බවයි.

මේ පිළිබඳව ජනපති මහින්ද රාජපක්‍ෂ සහ ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම යන මහත්වරුන්ට ලිපියක්‌ යවමින් දැනුවත් කළ බවද එම පෙරමුණ පවසයි.

දුම්රිය තාක්‍ෂණ සහායක, ෂන්ටින් එන්ජින් රියෑදුරු, රියෑදුරු සහායක, ෂන්ටර්, සංඥකරු, පොයින්ට්‌ස්‌මන් යන ශේ්‍රණිවල සේවකයන් ඊට අයත්වන අතර ඔවුන්ගේ වැටුප් විෂමතාවන්ට කඩිනම් විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බවද එම සංගමය එම ලිපියෙන් අවධාරණය කර ඇත.

මෙම තත්ත්වය යටතේ එළඹෙන උත්සව සමයේදී මගීන්ට දැඩි අපහසුතාවන්ට ලක්‌වීමට සිදුවනු ඇතැයිද එම සංගමයේ ලේකම් පී. සම්පත් රාජිත මහතා ලිපිය මගින් දැනුම් දී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.