රටේ ඇති නිවාස ලක්‍ෂ හතළිස්‌ පහම
ගෘහ ආර්ථික ඒකක කිරීම අපේ අරමුණයි
ඇමැති බැසිල් රාජපක්‍ෂ


සිරිල් විමලසුරේන්ද්‍ර

ගෘහ ආර්ථික ඒකක දශ ලක්‍ෂය ආරම්භයක්‌ පමණයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉලක්‌කය මේ රටේ හතළිස්‌ පන්ලක්‌ෂයක්‌ නිවාස සංඛ්‍යාවම ගෘහ ආර්ථික ඒකක බවට පත්කිරීම යෑයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පෙරේදා (30 වැනිදා) මහනුවරදී පැවැසීය.

ගෘහ ආර්ථික ඒකක දශ ලක්‌ෂයේ ව්‍යාපෘතිය පිළිබඳව මහනුවර දිස්‌ත්‍රික්‌ දිවි නැගුම වැඩසටහනේ ක්‍රියාකාරින් දැනුවත් කිරීම සඳහා මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවැති රැස්‌වීමකදී ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා එම අදහස්‌ ප්‍රකාශ කළේය.

දිවි නැගුම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ගෘහ ආර්ථික ඒකක වැඩපිළිවෙළේ අරමුණු සාමාන්‍ය ආහාරයෙන් ජනතාව ස්‌වයංපෝෂිත කිරීම පමණක්‌ නොවන බව පැවැසූ ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා එම වැඩසටහන හැදෙන වැඩෙන දරුවාගේ පෝෂණයත් හැදියාවත් වර්ධනය කරන ජාතික වැඩසටහනක්‌ යෑයිද පැවැසීය.

රූපවාහිනිය බලා "මීට්‌ බෝල්" කෑමත්, පෝෂණය නොමැති ආනයනය කරන ලද කිරි වර්ග පානය කිරීමත් වෙනුවට තම ගෙවත්තේ වැඩුණු කාබොලික්‌ නොගැසූ ගස්‌ලබු වැනි පළතුරු සහ උණු උණුවේ ලබාගත් එළකිරි කෝප්පයක්‌ දරුවාට ලබාදීම මෙම ආර්ථික වැඩපිළිවෙළේ අරමුණ යෑයිද ඇමැතිවරයා පැවැසීය.

තවදුරටත් කරුණු පැහැදිලිs කළ ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවැසීය.

කෘෂිකර්මය හා සත්ත්ව පාලනය අපේ දේශයේ උරුමයක්‌. එය අපේ ඇඟේ, අපේ සංස්‌කෘතියේ නිරායාසයෙන් පිහිටා තිබෙනවා. අපේ සංස්‌කෘතිය අනුව අපේ ගමේ මූලික ලක්‍ෂණය වැවයි දාගැබයි. එදා අපේ ගම ස්‌වයංපෝෂිත ඒකකයක්‌.

රසායනික පෝර නොයෙදූ එළවළු සහ පළතුරු, කාබොලික්‌ නොගසා කලට ඉදුණු පළතුරු සහ නැවුම් කිරි එදා ජනතාවට ලැබුණා. එයින් ජනතාව සෞඛ්‍ය සම්පන්න ජනතාවක්‌ව සිටියා. ඒ තත්ත්වය නැවත ඇතිවිය යුතුයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ අරමුණ එයයි. මහින්ද චින්තනයේ ඉදිරි දැක්‌ම අනුව ගෘහ ආර්ථික ඒකක දශ ලක්‌ෂයක්‌ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම දැන් සකස්‌ කරමින් පවතිනවා. එය දැවැන්ත ව්‍යාපාරයක්‌. එය ජනතා ව්‍යාපාරයක්‌, රජයේ නිලධාරීන්ගේ ව්‍යාපාරයක්‌ පමණක්‌ නොවේ. මුළු මහත් ජනතාවම එකමුතුව ක්‍රියාත්මක කෙරෙන ජාතික වැඩපිළිවෙළක්‌.

පිටි කිරෙහි පෝෂණයක්‌ නැහැ. උතුරේ කිරි ගොවීන් සමාගම්වලට කිරි අලෙවි කරන්නේ කොන්දේසියක්‌ මතයි. උතුරේ නිෂ්පාදිත කිරි සියයට පනහක්‌ උතුරේ ජනතාවටම ලබාදීම අනිවාර්ය කර තිබෙනවා. දරු පරපුරට නැවුම් කිරි ලබාදීමට එවැනි වැඩපිළිවෙළක්‌ ඉතා වැදගත්.

ගෘහ ආර්ථික ඒකක දශ ලක්‌ෂයේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයද පූර්ණ සහයෝගය හා ආශිර්වාදය ලබා දෙනවා යෑයිද ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.

අගමැති දි. මු. ජයරත්න මහතා අදහස්‌ දක්‌වමින්, දිවි නැගුම වැඩසටහන මහින්ද චින්තනයට ඇතුළත් කර ඇත්තේ ප්‍රධාන අරමුණු දෙකක්‌ ඇතිව බව කීවේය.

ග්‍රාමීය මට්‌ටමේ සිට රට සංවර්ධනය කිරීම එක්‌ අරමුණක්‌ වන බවත්, අනෙක්‌ අරමුණ ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධන බවත් අගමැති දි. මු. ජයරත්න මහතා පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අදහස්‌ දක්‌වමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දූරදර්ශී වැඩපිළවෙළ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික වර්ධනයෙන් වසරින් වසර ඉහළ ගොස්‌ සියයට 8 ක වර්ධනයක්‌ ලබා තිබෙන බව කීවේය.

මෙම ආර්ථික වර්ධනය ඉන්දියාවට සමානයි. වසර 2011 දී සියයට අටක ආර්ථික වර්ධනයක්‌ ඇතිකර ගැනීම චීනයේ ඉලක්‌කය යෑයිද ඔහු කීවේය.

සෑම අංශයකින්ම ආර්ථික වර්ධනයක්‌ ඇතිවී තිබෙන ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ වර්ධනය සියයට 38 ක්‌ බව ද ඇමැතිවරයා පැවැසීය.

ලොව ආහාර හිඟයක්‌ නුදුරු අනාගතයේදී ඇතිවේ යෑයි බියකින් සිටින කාලයක ගෘහ ආර්ථික ඒකක දශ ලක්‌ෂයේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කටයුතු කර ගෙන යන බව ද අමුණුගම මහතා කීවේය.

ජ්‍යෙෂඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන සහ මහනුවර මහ දිසාපති ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරු ද අදහස්‌ දැක්‌වූහ.

මහනුවර දිස්‌ක්‍රික්‌ ක්‍රම සම්පාදන අධ්‍යක්‍ෂ කේ. මුදලිගේ මහතා ස්‌තුති කථාව කළේය.

අග්ගමහා පණ්‌ඩිත අලුත්ගම ධම්මානන්ද නායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්‌ථාවට වැඩම කර සිටියහ.

මධ්‍යම පළාත් වැඩබලන ප්‍රධාන ඇමැති බන්ධුල යාලේගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම සහ එරික්‌ ප්‍රසන්න වීරවර්ධන යන මහත්වරුද පළාත් සභා මන්ත්‍රීවරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.