සරත් ෆොන්සේකා අද මහාධිකරණයට
ඉදිරිපත් කරන්නැයි නියෝග


ඒ. ඡේ. ඒ. අබේනායක

අසනීප තත්ත්වයක්‌ නිසා පෙරේදා (30 වැනිදා) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් නොකළ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (1 වැනිදා) පෙරවරුවේ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර මහත්මිය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට පෙරේදා (30 වැනිදා) නියෝග කළාය.

සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර ඇති නඩුවේ විත්තිය වෙනුවෙන් විත්තිකාර සරත් ෆොන්සේකා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙරේදා (30 වැනිදා) සාක්‌ෂි ලබාදීමට නියමිතව තිබුණි. එසේ මුත් විත්තිකරුගේ රෝගී තත්ත්වයක්‌ නිසා පෙරේදා (30 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවක්‌ සමඟ බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපත් කොට තිබූ වාර්තාවක්‌ සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුර විභාගය එදිනට කල් තබමින් එම නියෝගය නිකුත් කළාය.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් බුවනෙක අලුවිහාරේ, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක, රියාස්‌ බාරි යන මහත්වරුන් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙයවූ අතර පෝල් රත්නායක නීතිඥ සමාගමේ උපදෙස්‌ මත ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි, නිලන්ති පීරිස්‌. යූ. එල්. ජී. බණ්‌ඩාර හා නිරෝෂණ පෙරේරා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.