රු. කෝටි 2 ක සුදු යකඩ හොරු බඩුත් සමඟ කොටුවෙති

චමින්ද සිල්වා - ඒ. පී, ආරියරත්න - රත්මලාන

රත්මලාන කර්මාන්තපුර ප්‍රදේශයේ සුදු යකඩ භාණ්‌ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් සුදු යකඩ තොගයක්‌ සොරාගත් පස්‌ දෙනකු එම සුදු යකඩ තොගයද සමඟ පෙරේදා (30 වැනිදා) සවස ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර එම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන සේවකයකු, පෞද්ගලික ආරක්‌ෂක අංශ නිලධාරියකු සහ භාණ්‌ඩ රැගෙන යැමට පැමිණි තිදෙනකු සිටින බව පොලිසිය පවසයි.

සැකකරුවන් පිළියන්දල, මහරගම, කඩුවෙල සහ නුවර පදිංචිකරුවන් වන අතර භාණ්‌ඩ සොරා ගැනීම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන සේවකයා සහ ආරක්‌ෂක නිලධාරියා එක්‌ව රාත්‍රි කාලයේ සිදුකර ඇතැයි සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිකරගෙන තිබේ.

සැකකරුවන් විසින් කර්මාන්ත ශාලාවෙන් භාණ්‌ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් සමඟ එක්‌ව සුදු යකඩ පිටතට ප්‍රවාහනය කිරීම සඳහා යොදගත් ටිපර් රථයක්‌ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සුදු යකඩ කර්මාන්ත ශාලාවේ රුපියල් දෙකෝටියකට අධික සුදු යකඩ තොගයක්‌ සොරාගෙන ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී බොරලැස්‌ගමුව ප්‍රදේශයේ සුදු යකඩ අලෙවි සලකට විකුණා තිබූ රුපියල් ලක්‍ෂ පහළොවකට අධික සුදු යකඩ තොගයක්‌ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී හේමන්ත අධිකාරි මහතාගේ අධීක්‍ෂණයෙන් මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කොට්‌ඨාස අපරාධ අංශයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල්වරු වන (44753) µයිසර්, (44713) ජයසුන්දර, (67678), අමිල, (67668), කුමාරගම යන නිලධාරීහු පිරිස වැඩිදුර විමර්ශන සිදුකරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.