වතු කම්කරුවන්ට සාධාරණ වැටුප් වැඩිවීමක්‌
සිදු නොකළොත් දැඩි පියවර ගන්නවා

එජාප පස්‌සර සංවිධායක සහ ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් කේ. වේලායුදන්


පියසේන දිසානායක

වතුකම්කරුවන් සඳහා මෙවර සාධාරණ වැටුප් වැඩිවීමක්‌ ලබාදීමට හාම්පුතුන්ගේ සංගමය ක්‍රියා නොකළොත් ඊට එරෙහිව දැඩි පියවර ගැනීමට සිදුවන බව පස්‌සර එක්‌සත් ජාතික පක්‍ෂ සංවිධායක, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සහ ඌව පළාත් සභා මන්ත්‍රී කේ. වේලායුදන් මහතා පැවැසීය.

වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර ඉදිරියේදී ඇතිකරගනු ලබන අවබෝධතා ගිවිසුමට අනුව නියත වශයෙන්ම වතුකම්කරු වැටුප් පිළිගත හැකි අයුරින් වැඩිකළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

වතු කම්කරුවන් මුහුණපා සිටින ගැටලු හා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ඊයේ (31 වැනිදා) මාධ්‍යයට කරුණු දක්‌වමින් මේ බව සඳහන් කළ වේලායුදන් මහතා වතුකම්කරුවන් සඳහා සාධාරණ වැටුප් වැඩිකිරීමක්‌ ලබාදීමට සිය වෘත්තීය සමිතිය ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත සියලු වෘත්තීය සමිති දැඩි කැපවීමෙන් ක්‍රියාකරමින් සිටින බවද සිහිපත් කළේය.

කම්කරුවකුගේ දිනක වැටුප රුපියල් 405 ක්‌ බවට උදම් ඇනුවත් එය ලබාගැනීමට නම් අදාළ කම්කරුවාගේ මාසයේ පැමිණීම සියයට හැත්තෑපහක්‌ ඉක්‌මවිය යුතු බවත් ඒ මහතා පැවැසීය.

මේ අනුව කම්කරුවන්ට මුහුණපෑමට සිදුව තිබෙන ගැටලු හේතුවෙන් කිසිසේත් මාසයේ සියයට හැත්තෑපහේ පැමිණීම වාර්තා කිරීමට හැකි වන්නේ නැති බවත් එලෙස නොහැකි වන සෑම අයකුගේම දිනක වැටුප රු. 285 ක්‌ බවත් වේලායුදන් මහතා පැවැසීය.

මෙලෙස රු. 285 සිට 405 දක්‌වා මුදල් විවිධ දීමනා වශයෙන් හිමිවන බවත් සිය වෘත්තීය සමිති මෙවර හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටින්නේ වතුකම්කරුවන් බහුතරයකට ලබාගත නොහැකි එම දීමනා වෙනුවට පිළිගත හැකි ආකාරයට මාසික සAථêර වැටුප් වැඩිකිරීමක්‌ සිදුකරන ලෙස යෑයිද ඔහු කීවේය. මේ වනවිට රබර්, තේ, ආදියට ඉහළ මිලක්‌ ලැබෙන බැවින් කම්කරුවන්ගේ වැටුප් වැඩිකර දීමට කිසිදු ආකාරයේ නොහැකියාවක්‌ හෝ අපහසුතාවයක්‌ ඇති නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

වතුකරය නියෝජනය කරන ඇමැතිවරු රැසක්‌ ආණ්‌ඩුව තුළ සිටියත් කම්කරුවන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හෝ ඇමැති මණ්‌ඩලයේ හෝ තීන්දු තීරණ ගන්නා වෙනත් ස්‌ථානවල දී හෝ ඔවුන් හඬක්‌ නොනගන බවට චෝදනා කළ වේලායුදන් මහතා මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් වතු ජනතාව වෙනුවෙන් ලබාදුන් පොරොන්දු කිසිවක්‌ ඉටුකර නැතැයි ද පැවැසීය.

ආණ්‌ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට අනුව අද වනවිට වෙළෙඳපොළේ පුන්නක්‌කු කිලෝවක්‌ රුපියල් 60 කටත්, පොල් ගෙඩියක්‌ රු. 60 කටත් අලෙවි කරන අතර 1972 වන විටද මෙරට මෙවැනිම ආර්ථික පසුබිමක්‌ පැවැති බව සිහිපත් කළේය.

1977 තෙක්‌ පැවැති පාලනය යටතේ ජනතාව නොගන්නා ආහාර පවා ගැනීමට සිදුවූ බවත් ඒ කුණුබක්‌කි අවුස්‌සා ආහාර සොයපු යුගය යළි මේ රටේ ඇතිකරමින් යන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.