"ඊ නිවුස්‌" ප්‍රධාන කර්තෘ 7 වැනිදා තෙක්‌ රිමාන්ඩ්

හේමන්ත රන්දුණු - අතුරුගිරිය - පියදාස රණසිංහ

ලංකා ඊ නිව්ස්‌ වෙබ් අඩවියේ ප්‍රධාන කාර්යාලයට ගිනි තබා විනාශ කිරීමේ අපරාධමය සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සිසිර ජයලත් නොහොත් භූතයා යන අයගේ මල්ලිට දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කරන ලද බව කියන සිද්ධියක්‌ සම්බන්ධව ඊයේ (31 වැනිදා) වැල්ලම්පිටිය පොලිසිය මගින් කඩුවෙල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලද ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ බෙනට්‌ රූපසිංහ මහතා අප්‍රේල් මස 07 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජයකී ද අල්විස්‌ මහත්මිය නියෝග කළාය.

පසුගිය ජනවාරි (31 වැනිදා) මධ්‍යම රාත්‍රි ඉහත කී වෙබ් අඩවි මාධ්‍ය කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු දැනට අධිකරණ නියෝග මත ඇප කොන්දේසි යටතේ මුදා හැර ඇත.

මේ අතරින් ප්‍රධාන සැකකරු වන සිසිර ජයලත් නොහොත් භූතයාගේ මල්ලී වන සුගත් ජයලත් යන අය විසින් වැල්ලම්පිටිය පොලිසියට කර තිබූ පැමිණිල්ලක්‌ මත එම කතුවරයා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

වැල්ලම්පිටිය පොලිසියේ "බී" වාර්තාවක්‌ හරහා පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිලිකාර සුගත් ජයලත් යන අයට යතුරු පැදියකින් පැමිණි බව කියන නාඳුනන පුද්ගලයන් දෙදෙනකු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී ගිනි අවියක්‌ හිසට එල්ල කර මරණ තර්ජනය කළ බවටත් පැමිණිලි කර ඇතැයිද ප්‍රකාශ කළේය.

මෙම සැකකරුගේ දුරකථන හා සම්බන්ධතා පැවැත්වූ තවත් දුරකථන සංවාද පිළිබඳව මීගමුව හා තවත් ප්‍රදේශවල පණිවිඩ සංඥ පුවරු හරහා විමර්ශනය කළ පරීක්‍ෂණ වාර්තා ටෙලිකොම් ආයතනයෙන් ලබා ගැනීමෙන් පසු හෙළිවූ කරුණු සැළකිල්ලට ගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියේය.

මෙහිදී සැකකාර ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ බෙනට්‌ රූපසිංහ මහතා වෙනුවෙන් හය දෙනකුගෙන් සමන්විත නීතිඥ මණ්‌ඩලයක්‌ සමග අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම මරණ තර්ජනය සිදු කළා යෑයි කියන පැමිණිල්ලේ වගඋත්තරකරු රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට තිබෙන ප්‍රධාන මාධ්‍ය ආයතනයක කර්තෘවරයා බවත් මෙම කාර්යාලය ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියෙන් අගතියට පත් පැමිණිලිකාර පාර්ශ්වයේ අයෙකු අද සැකකරුවෙකු බවට පත්ව ඇතැයිද අධිකරණය හමුවේ අවධාරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.