පවුලකින් දරුවකු සසුනට පූජා කර
සම්බුද්ධත්ව ජයන්තියට පෙළගැසෙමු
බොරැල්ලේ අතුල හිමි

කටාන - සිසිල් ඩැනීසියස්‌

මහා සංඝරත්නය නැතිව අද දුෂ්කර, ගම්බද පන්සල් ගණනාවක්‌ වැහිලා. ඒ සඳහා බලපාන ප්‍රශ්න හා ගැටලු මැනවින් හඳුනාගෙන ඊට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා පවුලකින් දරුවකු ශාසනයට පූජා කර 2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් සැරසීම සඳහා මුළු හදවතින්ම එක්‌වන්නැයි කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අතුල දස්‌සන බෞද්ධ මධ්‍යස්‌ථානය, බොරැල්ල චන්ද්‍රලේඛා මාවතේ සිරි ඥනාලංකාර භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානය යන උභය විහාරාධිපති බොරැල්ලේ අතුල නායක හිමියෝ ඉල්ලා සිටියහ.

කටාන බෝලගල ශ්‍රී සුදර්මාරාම පුරාණ මහා විහාරස්‌ථ ශ්‍රී පඤ්ඤාවංස දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේදී උන්වහන්සේ මෙසේ ද කීහ.

පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ගේ විෂය දැනුම, කුසලතා, ආකල්ප හා සාරධර්ම දියුණු කරනවා. දරුවන්ගේ ඔළුව හදනවා. දහම් පාසලින් කරන්නේ එහි අනිත් පැත්තයි. දරුවන්ගේ සිත හෙවත් මනස හදනවා. මේ දෙඅංශය එකට යා යුතුයි. ඔළුව තිබිලා වැඩක්‌ නෑ සංවේදී හදවතක්‌ නැත්නම්. ඒ නිසා මේ රටේ පන්සල්, පල්ලි, මුස්‌ලිම් දේවස්‌ථාන හා කෝවිල් වටා අපේ රටේ දූ දරුවන් රොද බැඳ ගත යුතුයි. එවිට මේ රට සාරධර්ම වලින් පිරුණු රටක්‌ කරන්න හැකි වෙනවා.

අද රටේ වැඩි වශයෙන් සිදුවන්නේ විවේචනයයි. විනිශ්චයයි. වැරදි හෙවීමයි. කෙනකුට අතදී නැගී සිටුවනවා වෙනුවට කරන්නේ චරිත ඝාතන. මහා සංඝරත්නය යනු අහසින් පොළොවට පාත්වූ පිරිසක්‌ නෙමේ. මිනිස්‌ ඇට මස්‌ ලේ නහර සහිත ඔබ වගේම පිරිසක්‌. අපි අතිනුත් වැරදි අඩුපාඩු සිදුවනවා. එය මනුෂ්‍ය ස්‌වභාවයක්‌. මේ දුර්වලතා හඳුනාගෙන අපි ඉදිරියට යායුතුයි. අපි එක තැනකට එක දෙයකට සීමා විය යුතු නෑ. කොටුවිය යුතු නෑ. හිරවිය යුතු නෑ. එකට අත්වැල් බැඳගෙන ගිහි පැවිදි අපි පෙරටම යා යුතුයි. එවිටයි අපිට රටක්‌ වශයෙන් සෞභාග්‍ය කරා ගමන් කරන්න හැකිවන්නේ.

ගල්ලොළුවේ ධම්මපාල, ආචාර්ය වල්පොල කල්‍යාණතිස්‌ස, බෝලගල විජයාරාමාධිපති, බදුල්ලේ නන්දාරාම, ගලේවත්ත බෝධිරාජාරාමාධිපති, දිවුලපිටිය ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ ලේඛකාධිකාරි ශ්‍රාස්‌ත්‍රවේදී තිඹිරිගොල්ලේ රේවත හිමිවරුන්ද, ලංකා ප්‍රසාද් පතිරණ, ඉන්දික අනුරුද්ධ, මැන්සියුස්‌ ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්‌ ද මෙහිදී කතා කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.