කැබිනට්‌ තීරණ
උසස්‌ අධ්‍යාපනය ලබා ගැනීමට
නොහැකි දරුවන්ට මූල්‍යාධාර


රනිල් ධර්මසේන

මුදල් නොමැති වීම හේතුවෙන් උසස්‌ අධ්‍යාපන අවස්‌ථා ලබාගැනීමට නොහැකි තත්ත්වයේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මූල්‍යාධාර ලබාදීම පිණිස මානව සංවර්ධන මූල්‍ය නව පනතක්‌ ඉදිරිපත් කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇත.

උසස්‌ අධ්‍යාපනයට පහසුවෙන් ණය මුදල් ලබා ගැනීමට හැකිවන පරිදි ශිෂ්‍යත්වලාභීන් රැකියා ලබා ගැනීමෙන් පසුව නැවත අනිවාර්යයෙන් අය කර ගැනීමේ පහසුකම් සහිතව ඉන්දියාවේ ක්‍රියාත්මක ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම සහ සමාන ණය යෝජනා ක්‍රමයකට මානව සම්පත් ප්‍රාග්ධන සංවර්ධන මූල්‍ය පනත් කෙටුම්පතක්‌ ඉදිරිපත් කෙරේ.

ඇමැති එස්‌. බී. දිසානායක මහතා මීට අදාළ කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

ජන සෙවණ ජාතික නිවාස ලේකම් කාර්යාලයක්‌ පිහිටුවීමට අනුමැතිය ලැබී ඇත.

නිවසක අවශ්‍යතාව ඇති සියලු ජන කොටස්‌ සඳහා තොරතුරු සැපයීම, නිවාස දේපළ සංවර්ධකයන්, කොන්ත්‍රාත්කරුවන්, මූල්‍ය සම්පාදකවරුන් සඳහා තොරතුරු සැපයීමට නිවාස වෙළෙඳපොළ සම්බන්ධ කරන මධ්‍යස්‌ථානයක්‌ ලෙස ජන සෙවණ නිවාස ලේකම් කාර්යාලය පිහිටුවනු ලබන අතර ඇමැති විමල් වීරවංශ මහතා එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

දීඝවාපී චෛත්‍ය සංරක්‌ෂණය කිරීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීමට අනුමැතිය හිමිව තිබේ. මේ යටතේ දීඝවාපී චෛත්‍යයේ සංරක්‌ෂණ හා අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර සඳහා රුපියල් මිලියන 77 ක්‌ වැයවෙතැයි ගණන් බලා ඇත. ලංකා බැංකුව මේ සඳහා රුපියල් මිලියන 37 ක්‌ ලබාදීමට එකඟවී තිබේ. ඇමැති ජගත් බාලසූරිය මහතා මෙම පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

අඩුආදායම්ලාභී ගොවි ජනතාවට ආහාර සුරක්‌ෂිතා ව්‍යාපෘතිය වෙනුවෙන් ජපාන රජයෙන් මිලියන 360 ක (රුපියල් මිලියන 468 ක) ප්‍රදානයක්‌ ලබා ගැනේ.

මේ අනුව රෝද දෙකේ ට්‍රැක්‌ටර් 820 ක්‌ හා රෝද හතරේ ට්‍රැක්‌ටර් 50 ක්‌ මිලදී ගැනීමට නියමිතය. අඩුආදායම්ලාභී ගොවි ජනතාවගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට සහාය වීම මෙහි අරමුණ වේ.

කොළඹ වනාතමුල්ල සිංහපුර නිවාස ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ නිවාස ඒකක 180 ක්‌ ඉදිකිරීම අවසන් කිරීමට රුපියල් මිලියන 150 ක්‌ වෙන් කෙරේ. මෙම ව්‍යාපෘතියේ ඉදිරිකිරීම් මූල්‍ය දුෂ්කරතා නිසා අතරමඟ නවතා දමා තිබිණි. එම ව්‍යාපෘතිය රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව හරහා ඉදිකර අවසන් කිරීමට මෙම මුදල් වෙන් කෙරේ.

කොළඹ 07 ටොරින්ටන් මාවත 187 වත්තේ පදිංචිව සිටි පවුqල් 46 ක්‌ මෙම නව නිවාස ඒකකවල පදිංචි කිරීමටත් එමගින් ඔවුන් සිටි ටොරින්ටන් මාවතේ රුපියල් මිලියන 282 ක්‌ වටිනා පර්ස්‌ 87 ක ඉඩම ඉඩම නාගරික සංවර්ධන කටයුත්තක්‌ සඳහා යොදාගැනීමට හැකිවනු ඇත.

යුද ගැටුම් හා ගංවතුර තත්ත්වය හේතුවෙන් හානිවූ වාරිමාර්ග ක්‍රම හා මාර්ග ප්‍රතිසංස්‌කරණය කිරීම, කෘෂි මාර්ග, වැව්, සුළු වාරිමාර්ග ක්‍රම, ඇළ මාර්ග ප්‍රතිසංස්‌කරණය කිරීම සිදු කෙරේ.

සියලු මැතිවරණ කොට්‌ඨාස සම්බන්ධ කරගනිමින් ප්‍රමුඛත්වයෙහිලා ගැනෙන මාර්ග පුරා රුක්‌ රෝපණය හා වැඩි දියුණු කිරීමේ වැඩසටහන චීන සංවර්ධන බැංකු සංස්‌ථාවෙන් ඩොලර් මිලියන 500 ක්‌ හිමිවේ. මේ සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.