පරිභෝජනයට නුසුදුසු තේ අපනයනය කළ
ව්‍යාපාරිකයාට රු. ලක්‍ෂ දෙකක්‌ දඩ


දඩ මුදල නොගෙව්වොත් මාස 16 ක සිරදඬුවමක්‌

සමන්ත ඉලේපෙරුම

මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු අපවිත්‍ර තේ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්‍ෂ දෙකක දඩ මුදලක්‌ නියමකළ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය චූදිත දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 16 ක සිරදඬුවමක්‌ පනවන ලෙසට ඊයේ (31 දා) නියෝග කළාය.

ශ්‍රී ලංකා තේ මණ්‌ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. සෝමරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කරනු ලැබූ පැමිණිල්ලක්‌ මත පැවැති නඩු විභාගයකින් වැරදිකරු වී මෙලෙස දඩ මුදල් නියම වූයේ දෙමටගොඩ පදිංචි මහම්මදු රසීදු මහම්මත් රාෂික්‌ නමැති අයටය.

1957 අංක 15 දරන තේ පාලන පනත යටතේ විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා නවයෙන් චෝදනා හතරකට ඔහු වැරදිකරු කරනු ලැබීය. ඒ අනුව නිත්‍යානුකූල අවසරයකින් තොරව තේ ගබඩා කර තබා ගැනීම, අපනයන හිමිකමක්‌ නැතිව අපනයනය කිරීම, වෙනත් වෙළෙඳ නාමයන් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කිරීම හා පානයට අන්තරාකාරී බව දැන දැනම අපවිත්‍ර බාල වර්ගයේ තේ විකිණීම, වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම හා සන්තකයේ තබා ගැනීම යටතේ චෝදනා හතරට චූදිත වැරදිකරු කරනු ලැබීය.

විත්තිකරු සන්තකයේ තිබූ තේ කිලෝ ග්‍රෑම් 56245 ක ප්‍රමාණයක්‌ හා සාම්පල් තේ බෑග් 318 විනාශ කරන ලෙසට මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.