සෙලින්කෝ ලයිෆ් 2010 සඳහා
රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉහළම ආදායම වාර්තා කරයි


2010 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 12.2 ක සමස්‌ත ආදායමක්‌ සහ රුපියල් බිලියන 8.786 ක දළ වාරික ආදායමක්‌ වාර්තා කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 7 වැනි වරටත් දේශීය රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිය නායකත්වය තහවුරු කර ඇත.

ඉලක්‌කගත වෙළෙඳපොළ කොටස්‌වල ආදායමෙහි වර්ධනයක්‌ නොතිබුණද, එම වසර තුළ ජීවිත රක්‍ෂණයට අදාළ සියලුම අංශයන්හි කැපී පෙනෙන දියුණුවක්‌ සමඟ සමස්‌ත ව්‍යාපාරික මෙහෙයුම්වල වර්ධනයක්‌ අත්කර ගැනීමට සමාගම සමත් වී ඇත.

සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්‍ෂණ අරමුදල මෙවර සියයට 20.5 කින් එනම් රුපියල් බිලියන 5.418 ක වර්ධනයක්‌ සමග රුපියල් බිලියන 31.868 දක්‌වා ඉහළ ගොස්‌ ඇති අතර සමාගමෙහි ආයෝජන සියයට 25.7 කින් වර්ධනය වී රුපියල් බිලියන 29.376 ක්‌ වාර්තා කර ඇත. එමෙන්ම 2010 දෙසැම්බර් 31 වනවිට සමාගමේ සමස්‌ත වත්කම් සියයට 20.6 කින් රුපියල් බිලියන 36.956 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

සමාගම ලද මෙම ඉහළ වර්ධනය පිළිබඳ අදහස්‌ දක්‌වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂක හා ප්‍රධාන විධායක නිලධාරී ආර්. රෙන්ගනාදන් මහතා පැවසුවේ ව්‍යාපාරික කාර්යසාධනයෙහි අත්‍යවශ්‍ය අංගයක්‌ වන වගකීම් පියවීමේ හැකියාව 2010 වසරේදී තවත් වර්ධනය කර ගනිමින් නීතියෙන් නිර්දේශිත අගයට වඩා නව ගුණයක්‌ දක්‌වා ඉහළ අගයක පවත්වා ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමත් වූ බවයි.

ටවර්ස්‌ වොට්‌සන් රිස්‌ක්‌ කන්සල්ටින් ජාත්‍යන්තර සමාගම විසින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2010 ජීවිත රක්‍ෂණ අරමුදල පිළිබඳ කරන ලද ජීව ගණක තක්‌සේරුවට අනුව ජීවිත රක්‍ෂණ අරමුදලෙහි ජනනය කරන ලද අතිරික්‌තයෙන් රුපියල් මිලියන 600 ක්‌ 2010 කොටස්‌ හිමියන්ගේ අරමුදල වෙත පැවරීමට නිර්දේශ කර ඇත.

මේ අනුව සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගමේ ඒකාබද්ධ ශුද්ධ ලාභය වූ රුපියල් මිලියන 939 න් රුපියල් මිලියන 591 ක්‌ සඳහා සෙලින්කෝ ලයිµa දායක වූ බවත් එසේ කරන ලද්දේ කොටස්‌කරුවන් සඳහා වූ වියදම් කපාහැරීමෙන් පසුව බවත් රෙන්ගනාදන් මහතා පෙන්වා දුන්නේය.

2009 වසරට සාපේක්‍ෂව සෙලින්කෝ ලයිෆ් සිය වාරික ආදායම සියයට 17 කින් හා සමස්‌ත ආදායම සියයට 12.5 කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. එමෙන්ම සමාගමේ ආයෝජන ආදායම හා අනෙකුත් ආදායම් සියයට 3 කින් වර්ධනය කර ගනිමින් රුපියල් මිලියන 3,454 ක්‌ දක්‌වා ඉහළ නංවා ගැනීමට සමාගම සමත් වී ඇත.

අසීරු ආර්ථික වටපිටාවක්‌ තුළ වුවද ගෙවී ගිය මූල්‍ය වසර තුළදී සමාගම නව රක්‍ෂණ ඔප්පු 157,682 ක්‌ අලෙවි කිරීමට සමත් වූ අතර ඔප්පුහිමියන්ට ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 2,757 ක්‌ වැය කර ඇත. 2010 දෙසැම්බර් 31 වනවිට සමාගම සතු රුපියල් බිලියන 29 කටත් වඩා වටිනාකමකින් යුතු වූ ආයෝජන රාජ්‍ය සුරැකුම්පත්වලද (සියයට 38) ක්‌, ලියාපදිංචි පුද්ගලික බැංකුවල ද (සියයට 17), රාජ්‍ය බැංකු වලද (සියයට 22), නිශ්චල දේපළ අංශයේද (සියයට 12), ආයතනික ණය (සියයට 7) හා අනෙකුත් අංශයන්හිද (සියයට 4) යොදවා ඇත.

සෙලින්කෝ ලයිෆ්හි ජීවිත රක්‍ෂණ අරමුදලේ ආයෝජන රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ 2000 වසරේ අංක 43 දරන පනතට අදාළ රෙගුලාසිවලට අනුව සිදුකෙරෙන බවත් මෙම සියලු ආයොජන ක්‍රියාවන් ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්‌ඩලයේ (IBSL) අධීක්‍ෂණයට ලක්‌වන බවත් රෙන්ගනාදන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.