ඇස්‌ පරිස්‌සන් කරගෙන රතිඤ්ඤා පත්තු කරමු

සියලුම ශ්‍රී ලංකාවාසීන් මේ දිනවල අවුරුද්දට ලක ලෑස්‌ති වන්නේ මෙම ජාතික උත්සවය අපිට හැකි අයුරින් එය සැමරීම පවුලේ සහ ඥතීන්ගේ සතුටට හේතුවන නිසාවේ. මෙම උත්සවයට අලුත් ඇඳුම් සහ කෑම බීම මිලදී ගන්නා විට රතිඤ්ඤා, අහස්‌ ගුණ්‌ඩු, නිලා, බඹර චක්‍ර ආදිය ද අප මිලදී ගන්නේ අවුරුද්දට නැතිවම බැරි දෙයක්‌ වී ඇති නිසාය.

මෙම ගිනිකෙළි භාවිතා කිරීම අපගේ සතුටට සිදු කළත් මේවාහි පුපුරණ ද්‍රව්‍ය අඩංගු වී ඇති නිසා සිදුවන හානිය ඉතා විශාල වේ.

පසුගිය උත්සව සමයේ ජාතික අක්‌ෂි රෝහලට ගිනිකෙළිවලින් ඇසට සිදුවූ තුවාල නිසා රෝගීන් 60 ක්‌ පමණ පැමිණ ඇත. මෙහි භයානක කම වන්නේ මෙයින් 70% ක්‌ පමණ ළමයින් වීමයි. එම තුවාල 80% ක්‌ පමණ සිදුවී ඇත්තේ මෙම ගිනිsකෙළි අතේ තබාගෙන පත්තු කිරීමට යැමෙනි. තවද අවුරුදු 5 ට අඩු ළමයින්ද 25% ක්‌ පමණ වේ. ඔවුන් වැඩි දෙනා තුවාල ලබා ඇත්තේ කුඩා ළමුන් වඩාගෙන ගොස්‌ ළඟ තබාගෙන වැඩිහිටියන් රතිඤ්ඤා පත්තු කිරීමෙනි.

මෙම ගිනිකෙළිවලින් තුවාල ලැබූ අයගෙන් 50% ක්‌ නේවාසික ප්‍රතිකාර ලබාගෙන ඇත. අනිත් රෝගීන් ජාතික අක්‌ෂි රෝහලේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන හදිසි අක්‌ෂි ප්‍රතිකාර ඒකකයේ හෝ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත. සියලුම ගිනිකෙළිවලට එනම් රතිඤ්ඤා, අහස්‌ කූරු, නිලා, බඹර චක්‍රවලින් තුවාල සිදුවී ඇත.

මෙම සංඛ්‍යාලේඛන දියුණු රටවල සංසන්දනය කිරීමේ දී ප්‍රධාන වෙනස එම රටවල ළමයින්ට තුවාල සිදුවී ඇත්තේ 32% ක්‌ පමණය. අවුරුදු 5 ට අඩු ළමයින්ට තුවාල වී නොමැති තරම්ය.

මෙයින් පෙනී යන්නේ අප කුඩා ළමුන්ට ඉතා ආදරේ නමුත් ඔවුන්ගේ ආරක්‌ෂාව ගැන සැලකිලිමත් වීම අඩු බවයි. අවුරුදු 5 ට අඩු අයට සිදුවූ තුවාල වැඩි හරියක්‌ සිදුවී ඇත්තේ නිලා වලිනි.

මෙම ගිනිකෙළිවලින් පහත සඳහන් තුවාල සිදුවිය හැක. පිළිස්‌සීම, තැලීම, කුහිනය සිදුරු වීම, කුහිනය ඉරීම, අක්‌ෂි සෛල පිපිරීම, දෘෂ්ටිවිතානයට හානිවීම ආදිය සිදුවී ඇත.

සමහරක්‌ අවස්‌ථාවලදී නැවත පෙනීම ගැනීමට නොහැකි වන සේ ඇස්‌ අන්ධ වූ අවස්‌ථාද ඇතිවේ. සමහරක්‌ අයට ඇස්‌ බද්ධ කිරීමට සිදුවී ඇත.

මෙම ගිනිකෙළිවලින් වන අනතුරුවලින් අප ප්‍රවේසම් වුවහොත් 100% ක්‌ම වළක්‌වා ගත හැකිවේ. ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යය වේ.

* ගිනිකෙළි භාවිතය නැවැත්වීම හෝ හැකිතාක්‌ දුරට අඩු කිරීම.

* කිසිම විටක ළමයින්ට ගිනිකෙළි භාවිත කිරීමට ඉඩ දිය යුතු නොවේ

* වැඩිහිටියන් ගිනිකෙළි භාවිත කිරීමේදී රතිඤ්ඤා, අහස්‌ ගුණ්‌ඩු, කුඩා ළමුන්ට ඈතින් ආරක්‌ෂක ස්‌ථානයක, තැබිය යුතුවේ.

* ගිනිකෙළි සංදර්ශන නැරඹීමේදී අඩි 500 ක්‌ වත් ඈතින් සිටිය යුතුවේ.

* මෙම ගිනිකෙළි සංදර්ශන පුහුණු පුද්ගලයන් විසින් සිදුකළ යුතුවේ.

* පුපුරවන්නට තැත්කළ රතිඤ්ඤා හෝ අහස්‌ ගුණඩු පිපිරීම් සිදු නොවුණු අවස්‌ථා වලදී ඇල්ලීමට යැම නොකළ යුතුයි.

* උත්සව සැමරීමට වෙනත් විකල්ප භාවිත කිරීම.

* බීමතින් ගිනිකෙළි භාවිත කිරීම නොකළ යුතුය.

* රතිඤ්ඤා හෝ අහස්‌ ගුණ්‌ඩු කිසි විටකත් අතේ තබාගෙන පත්තු නොකළ යුතුයි. එය බිම තියා හෝ ආධාරකයක රඳවා පත්තු කළ යුතුයි.

* රතිඤ්ඤා ටින් ඇතුළට දමා පත්තු නොකළ යුතුයි.

* රතිඤ්ඤා හෝ අහස්‌ ගුණ්‌ඩු වෙනත් කෙනෙකු හෝ ජනතාව සිටින පෙදෙස්‌ ඉලක්‌ක කර පත්තු නොකළ යුතුයි.

* වාහන ඇතුළට හෝ ගෙවල් ඇතුළට විසි නොකළ යුතුයි.

ඉහත ක්‍රියාමාර්ග ගතහොත් අපගේ අවුරුද්ද ප්‍රීතිමත් ලෙස සමරා කිසිවකුටත් අනතුරක්‌ සිදු නොවන සේ එය භුක්‌ති විඳිය හැකිය.

ඔබට හෝ ඔබගේ ළමයිනට පවුලේ කෙනෙකුට හෝ අසල්වැසියකුට ඇසට තුවාල සිදු වුවහොත් පහත සඳහන් ක්‍රම අනුගමනය කරන්න.

* තුවාල ලැබූ පුද්ගලයා අස්‌වසා ලීම.

* හැකි ඉක්‌මණින් හදිසි අනතුරු ඒකකයට ගෙන යැම.

* මෙහිදී අක්‌ෂි වෛද්‍යවරයකු ඇස්‌ ඇතුළත පරීක්‌ෂා කරනතෙක්‌ අපට ඇස ඇතුළට සිදුවී ඇති තුවාලයේ ස්‌වභාවය හෝ ප්‍රමාණය රෝග ලක්‌ෂණ හෝ රෝග සංඥවලින් තීරණය කළ නොහැකිය. එසේ හෙයින් ළඟම ඇති අක්‌ෂි ඒකකයට ළමයා ගෙන යැම අත්‍යවශ්‍ය වේ.

* ඇසට තුවාලයක්‌ වී ඇති බවට සැක කළහොත් කිසිම අවස්‌ථාවක ඇස පොඩි කිරීමට ඉඩ නොදිය යුතුයි.

* ඇස තද වනසේ ආවරණ නොයෙදිය යුතුයි. එහෙත් ඇස අවට ඇති අස්‌ථිවලට සම්බන්ධ කර Eye Shield අක්‌ෂි ආවරණය හෝ භාවිත නොකරන ලද ඡැරුර Cමච (කඩදාසිවලින් තනන ලද කෝප්පයක්‌) ටේප් වලින් ඇලවිය හැක.

* වෙනත් වේදනා නාශක හෝ බෙහෙත් වර්ග දීමෙන් එතරම් ඵලයක්‌ නොවන නිසා වහාම අක්‌ෂි ඒකකයට ගෙන යා යුතුවේ.

* බෙහෙත් වර්ග හෝ වෙනත් කිසිම දෙයක්‌ ඇසට දැමීම නොකළ යුතුයි.

* ඇස සේදීමද සිදු නොකළ යුතුයි.

වෛද්‍ය සිසිර ලියනගේ

අධ්‍යක්‌ෂ, ජාතික අක්‌ෂි රෝහල.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.