හොරණ ශ්‍රී පාලිය
ස්‌වාධීනව තිබිය යුත්තේ ඇයි...


ශාස්‌ත්‍රාලයීය ලෙස දැනුම ගවේෂණය කිරීම විශ්ව විද්‍යාලයක මූලික අභිලාශය විය යුතුයි. එකම විෂය වුව විවිධ ගුරුකුල යටතේ අදාළ පීඨයන් තුළ දැනුම ගවේෂණය ලෝක විශ්වවිද්‍යාලයන්හි සම්ප්‍රදාය බවට පත්ව තිබේ. ලංකාවේ සියලු කලා සම්ප්‍රදායන් සහ ගුරුකුලයන් එක විශ්ව විද්‍යාලයක භූගෝලීය වශයෙන් ස්‌ථාපිත කළ හැකි වුවත් ඒ තුළින් සම්ප්‍රදායන් හා ගුරුකුලයන්ගේ මරා දැමීමේ බරපතල අපරාධය අනාගත සෞන්දර්ය ක්‌ෂේත්‍රයට භාර කරන්නේද යන වග පිළිබඳව සිතීමට කාලය පැමිණ තිබේ.

එක්‌ එක්‌ ගුරුකුලයන්ගේ පැවැත්ම හා වර්ධනයත්, එහි තාර්කීකරණයත් සිදුවනුයේ නිදහස්‌ මතවාදී ස්‌වරූපයන්ගේ ප්‍රවේශය තුළය. භූගෝලීය සහ භෞතික සීමාවන් පුළුල් කොට සෞන්දර්ය පිළිබඳ බල හස්‌තය තම විශ්වවිද්‍යාලයට හිමි විය යුතුයෑයි යන අධිපතිවාදී මානසික ස්‌වරූපයෙන් බැහැරට ගොස්‌ කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්‌ඩපය හා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සම්බන්ධව වර්තමානයේ මතුව ඇති සමාජ ප්‍රවේශය අප විවරණය කරන්නේ ශාස්‌ත්‍රාලයීය මරා දැමීමක්‌ ලෙසය.

විශ්වවිද්‍යාලයීය ශාස්‌ත්‍රාලයීය දැනුමෙහි ප්‍රවර්ධනය අරමුණු කරගෙන ගොඩනැගෙන ශ්‍රාස්‌ත්‍රාලයීය තර්ක සහ මතවාද එම විෂයන්හි වර්ධනයේ සීමා පුළුල් වීමට හේතු වනු ඇත. ශ්‍රී ලාංකීය සමස්‌ත සෞන්දර්ය කලා කේෂේත්‍රයෙහි ප්‍රවර්ධනය පිළිබඳව සිතීමට කාලය පැමිණ ඇති බැව් පෙනේ. ඒ අනුව ලාංකීය සෞන්දර්ය කලා ශාස්‌ත්‍රාලයීය ස්‌වරූපය ප්‍රධාන කොටස්‌ 2 කින් දැකිය හැකිය. එනම්,

1. තත්ත්ව සංරක්‌ෂණ ක්‍රමවේද උපයෝගී කොට ගත් සාම්ප්‍රදායික ගුරුකුලය. ((Traditional Thought of Aesthetic School)

2. නව ලිබරල්වාදී ක්‍රමවේදයනට කේන්ද්‍රීය වූ නව -න්තන මාධ්‍ය ගුරුකුලය. (Modern Thought of Media School) යනුවෙනි.

ශ්‍රි ලංකාවේ බොහෝ කලායතන කලා සෞන්දර්ය සම්ප්‍රදායන් තත්ත්ව සංරක්‌ෂණ ක්‍රමවේදී ලෙසින් සමාජ ගත කිරීමේ කටයුත්තෙහි නියෑලී සිටිති. කැමරාව, පරිගණකය යනාදී තාක්‌ෂණික උපකරණ යොදා ගත්තද ඒ සියල්ල තුළින් විද්‍යමාන සාධකය නම් නව තාක්‌ෂණය ඔස්‌සේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාම බව ලාංකීය සෞන්දර්ය කලා පිළිබඳ පර්යේෂණයන් තුළින් හෙළි වේ. මෙම තත්ත්ව සංරක්‌ෂණවාදී ක්‍රමවේදය උසස්‌ අධ්‍යාපනික මට්‌ටමකින් ගොඩනැගීම ද අතිශය ප්‍රශංසනීය වන අතර මෙහි සංරක්‌ෂණ ක්‍රමවේදයෙහි අනුගමනය තුළින් පමණක්‌ නොව පර්යේෂණාත්මක දිශානතියට අනුගත වීම එහි සංරක්‌ෂණ උපයෝග්‍යතාවය සඳහා හේතු වන බැවින් ඒ පිළිබඳව ශාස්‌ත්‍රාලයීය මට්‌ටමින් අවධානය යොමු කළ යුතු අතරම සාම්ප්‍රදායික ගුරුකුල තුළින් සිදුවන සමාජ මෙහෙවර අවම කළ නොහැකි බවද පෙනේ.

මේ අනුව කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්‌ඩපය නව -න්තනමය මාධ්‍ය ගුරු කුලයක්‌ (Modern Thought of Media School) ලෙස ගොඩ නැගෙමින් තිබෙන අතර සෞන්දර්ය තුළ නිර්මාණය වන කලා සම්ප්‍රදායන්හි මාධ්‍යමය (Medium) ශක්‍යතාවය පිළිබඳ පුළුල් නිපුණතාවයන්ගෙන් යුක්‌තව මතවාදී ලෙසින් සහ තාර්කික ලෙසින් ඉදිරියට ගමන් කරමින් සිටී. ජනමාධ්‍ය මූලිකව, සෞන්දර්ය කලාවන් අනෙකුත් සමාජීය විද්‍යාවන් සහ ස්‌වභාවික විද්‍යාවන්ගේද දැනුම සහ ක්‍රමවේද විද්‍යාත්මකව යොදා ගනිමින් නිදහස්‌ ආකෘතියකින් ශ්‍රාස්‌ත්‍රාලයීය සේවාවෙහි වර්ධනීය අවස්‌ථාවට පැමිණෙමින් සිටින ලංකාවේ එකම විශ්වවිද්‍යාලයීය ගුරුකුලය වේ.

කලාව, කලාව සඳහාය යන සාම්ප්‍රදායික මතවාදයට වඩා කලාව තුළින් ගොඩනැංවිය හැකි සමාජ මෙහෙවර පිළිබඳව කතිකා ගොඩනැංවීම සමාජ සාධාරණත්වය ඉටු කරන්නකි. සෞන්දර්ය කලා විෂයයන් දර්ශන විෂයෙහි මූලිකාංග තුළ අර්ථ විවරණය වන අතර මෙම අලංකාර සම්ප්‍රදායන්ට සමාජ සම්මුතීන් පවා ගොඩනැංවීමේ ශක්‍යතාවය පවතී. අලංකාරෝක්‌තිය පදනම්ව ගොඩනැගෙන කලා සාම්ප්‍රදායයන්ට සමාජ ඒකාබද්ධතාවය, සමාජ අන්තර් සංස්‌කෘතික සබඳතාවය සහ සමගිය ප්‍රධාන කේන්ද්‍රීය ලක්‌ෂය බවට පත්කර ගැනීමේ හැකියාව පවතී.

පෞරාණික සෞන්දර්යාත්මක සාම්ප්‍රදායන්හි (Ancient Aesthetics Traditions) ශක්‍යතාවය, අතුල්‍ය ගති ලක්‌ෂණ වලින් යුත් නව කලා ක්‍රමවේදයන්ගේ නිර්මාණකරණය දක්‌වා ගොඩනැංවිය හැකි බව පැහැදිලිය. නිදසුන් ලෙස බටහිර ලෝකය තුළ ගොඩනගුණු නව සාම්ප්‍රදායයන් සඳහා ග්‍රීක සෞන්දර්ය කලාවන්ගේ බලපෑම ප්‍රබල වූ බව දැකිය හැකිය.

මෙම සාම්ප්‍රදායික සෞන්දර්ය කලාවන්ගේ වෙනස්‌කම් 17 වන සියවසෙහි අග භාගය හා 20 වන සියවසෙහි මුල් භාගය තුළ ගොඩනැගෙන නූතන සෞන්දර්යවාදය අලංකාරෝක්‌තිවාදය මූලික කර ගනිමින් මද වෙනස්‌කම් භාවිතාව තුළින් ඉදිරියට ගලා ආ බව පැහැදිලිය. මානව සංවේදී ස්‌වරූප සහ අත්දැකීම් පිළිබඳව විද්‍යාත්මක නිරූපණය මෙම මානව කලා කෘති තුළ ගැබ්වන බවත්a, එම අලංකාරෝක්‌තීන් ග්‍රහණය කර ගැනීමේ බුද්ධිමය දැනුම අතිශය කේන්ද්‍රීය ස්‌වරූපයක්‌ ගොඩනංවන ආකාරයත්, මේ තුළ ගොඩ නැගෙන මානව ක්‍රියාකාරකම් පිළිබඳ බුද්ධිමය තර්කනවේදය සෞන්දර්යයෙහි සංවර්ධනමය ස්‌වරූපයක්‌ නිර්මාණය කරන බවත් පැහැදිලිය.

මෙම කලා සෞන්දර්ය පිළිබඳ විවරණ බුද්ධිමය හා තර්කන ක්‍රමවේදයන් තුළ ගොඩනැගිය යුතු බව ඉමෑනුවෙල් කාන් ද පෙන්වා දුනි. සෞන්දර්ය කලා සම්ප්‍රදායන් තුළ ගොඩනැඟෙන අලංකාරෝක්‌තිය තුළින් මානව ස්‌වභාවයන්හි සංවේදී බව හා මානව හැසිරීම් රටාවන් පිළිබඳ තර්කන ස්‌වභාවයන් ගොඩනංවයි. මෙම විශ්ලේෂණයේදී ඉස්‌මතු වන්නේ මිනිසා, ස්‌වභාවය සහ දර්ශනය යන ප්‍රධාන විචල්‍ය තුනය. 18 වන සියවසෙන් පසු "සෞන්දර්ය යනු කලාව පිළිබඳ දර්ශනය යි" යන තරමට බුද්ධිමය සංවාද නිර්මාණය වී තිබුණි.

බ්‍රිතාන්‍ය සෞන්දර්යවේදීන්ගේ තර්කන ක්‍රමවේදයන් තුළ අන්තර්ග්‍රහණය කොට ඇත්තේ කලා සෞන්දර්යයන් යනු බුද්ධි මහිමයෙහි (Mental Faculty) ස්‌වරූපය බවයි. ඇන්තනි ඈෂ්ලි (Anthony Ashley) පෙන්වා දෙන්නේ සෞන්දර්යයෙහි අලංකාරෝක්‌තිය පිළිබඳ හැගීම යනු මනෝ සාධුතAවයේ ස්‌වරූපය බවයි. තවද ප්‍රවේශයකින් විශ්ලේෂණය කරන්නේ නම් සෞන්දර්ය යනු මිනිසුන් සොයා යන කලා සබඳතාවයේ අලංකාරෝක්‌තිය පිළිබඳ විද්‍යාවයි. එම සෞන්දර්යවේදයට මිනිසාගේ සමාජ ශක්‌තියේ ප්‍රාගුණ්‍යතාවය පමණක්‌ නොව ඔහුව කාර්යක්‌ෂම සහ ශක්‌තිමත් කිරීමේ ගුණය අන්තර්ගතව තිබෙන බව පැහැදිලිය.

ඉතාලියානු හා බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන් තුළ කලාව හඳුන්වන්නේ මිනිසාගේ ආත්මයේ නැවත උත්aපත්තියක්‌ (Rebirth of the spirit of man) ලෙසයි. මින් පැහැදිලි වන්නේ කලා සෞන්දර්ය පෞද්ගලිකවත්, පොදු සහ ප්‍රායෝගිකවත් බුද්ධි විෂයීයව සංඥා, සංකේත භාවයන් තුළ පරිභෝජනය වන ප්‍රධාන සන්වේදනාත්මක ව්‍යවහාරයක්‌ බවයි. මේ තුළ මිනිසාගේ අභ්‍යන්තරික මනෝභාවයන් නිරූපණය වේ. නූතන යුගයේ විචාරශීලී සෞන්දර්යවේදීන් මෙම කලා නිර්මාණකරණයන් මනෝ විද්‍යාවේ සහ ජීව විද්‍යාවේ න්‍යායාත්මක ක්‍රමවේදයන් තුළ විශ්ලේෂණය කිරීමට උත්සාහ ගන්නා බැව් පෙනේ.

20 වන සියවසට පෙර සිදුවූයේ සෞන්දර්ය විෂයෙහි ප්‍රමාණාත්මක ලෙස වර්ධනය වීමයි. එහෙත් පශ්චාත් නූතන සෞන්දර්යවේදය තුළ සෞන්දර්යයෙහි යථාවාදය (Aesthetic Realism) පිළිබඳ තර්ක සහ මතවාදයන් මතුවෙමින් තිබේ. ඒ අනුව සංස්‌කෘතික ව්‍යාපාරයන්ට සාර්ථකව මුහුණ දිය නොහැකි සහ එම ගනුදෙනුව තුළ සාර්ථක නොවන කලා සෞන්දර්ය ක්‍රම වර්ධනය නොවන බැව් පැහැදිලිය.

සෞන්දර්යවේදය තුළ අන්තර්ගත ගණිත ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම වත්මන් සෞන්දර්යවේදයට අත්‍යාවශ්‍යක බව පෙනේ. න්‍යායාත්මක සෞන්දර්යවේදීය විශ්ලේෂණයන් සඳහා ගණිතයෙහි සමමිතික වැනි සංකීර්ණ සංකල්ප යොදා ගැනීමේ ශක්‍යතාවය තිබේ.

සෞන්දර්ය, තොරතුරු සැකසුම සහ තොරතුරු න්‍යායන් අතර සබඳතාවය කලාවේදයන්හි මාධ්‍යමය ශක්‍යතාවය හෙළිදරව් කරයි. මනෝ රෝග -කිත්සක කලාවේදයක්‌ ලෙස සෞන්දර්ය තුළ ඉස්‌මතු විය යුත්තේ මනෝවිද්‍යාත්මක දැනුමකින් යුතුවය.

ඒ අනුව පශ්චාත් නූතන යුගය තුළ සෞන්දර්ය යනු සම්ප්‍රදායම ඉදිරියට ගෙන යනු ලබන කලා මාධ්‍යයන් නොවේ. එය බහුවිෂයීය ක්‍රමවේද හා න්‍යායන් තුළ නිරුක්‌තීන් සම්පාදනය කරමින් උප විෂය රාශියකට අනුගතව ගොඩනැංවෙන කලා සංකීර්ණයකි.

ඊජීප්තු, මෙසපොතේමියානු, ග්‍රීක, රෝම යනාදී පෞරාණික සෞන්දර්යාත්මක සම්ප්‍රදායන් පශ්චාත් නූතන යුගය දක්‌වා සාම්ප්‍රදායිකවත්, දියුණුවෙමින් හා මුළුමනින්ම වෙනත් ගුරු කුල සම්ප්‍රදායන් දක්‌වාත් වර්ධනය වෙමින් ගමන් කොට ඇති බැව් පැහැදිලිය. සාම්ප්‍රදායික, ප්‍රායෝගික භාවිතාවන් නිශ්චිත සමාජ තත්ත්වාරෝපිත ස්‌වභාවයන් ගොඩනගමින් මානව ප්‍රජානනයේ විවිධ ක්‌ෂේත්‍ර ස්‌පර්ශ කිරීමට තරම් වූ සප්‍රමාණික භූමිකාවක නිරතවීමට සාම්ප්‍රදායික ශික්‌ෂණයන් හැඩගැසිය යුතු කාලය එළඹ තිබේ. කලා සෞන්දර්යයන්හි උරුමය සමාජය සහ පරිසරය සතු වන අතර එය නිර්මාණ කරුවාගේ සංවේදීභාවයේ අවසාන ඵලයෙහි බෙදා ගැනීමක්‌ද වේ. එකම කලා සෞන්දර්ය ක්‍රමවේද පිළිබඳ වුව නිර්මාණ කරුවන් විසින් අන්තර් සංවේදී භාවයක්‌ ගොඩනගා ගනු ලබන්නේ ඒකීය ලෙස නොවේ. සාම්ප්‍රදායික කලා සෞන්දර්ය පිළිබඳ පූර්ණ චිත්‍රයක්‌ නිර්මාණ කරුවන්ට නොමැති වීමේ ගැටළුව පොදු නියමයකි.

සෞන්දර්ය සම්ප්‍රදායන් දිගු මානව ඉතිහාසයක්‌ මානව සංරචකයන් සමග ව්‍යqහගත වුවත් පශ්චාත් නූතන යුගයේ එක්‌තරා ක්‍රමවේදාත්මක ප්‍රවේශයකට අනුගතව කලාවෙහි මාධ්‍යමය කාර්යභාරය හා හේතු ඵල සබඳතාවයන් විශ්ලේෂණය කරමින් සෞන්දර්ය පිළිබඳ දෘෂ්ටි වර්ධනයට හොරණ ශ්‍රීපාලි මණ්‌ඩපය තීරණාත්මක බලපෑමක්‌ කරමින් සිටී. සෞන්දර්යයෙහි තාර්කික සහ දාර්ශනික පදනම් වන මාධ්‍ය ක්‌ෂේත්‍රය මූලිකාංග කර ගනිමින් ව්‍යාඛ්‍යනයන් කරමින් සිටී.

කලා සෞන්දර්යයෙහි ශිල්පාත්මක හා තුලනාත්මක සමාජ ස්‌වරූපයන් රැගත් මෙම සංස්‌කාතික සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යා ක්‌ෂේත්‍ර උකහා ගනිමින් ප්‍රබල මතවාදීමය අවකාශය ශ්‍රී්‍රSපාලි මණ්‌ඩපය විවර කොට ඇත. කලා සෞන්දර්ය සම්ප්‍රදායන් සමාජ සංවර්ධයෙහි උපයෝගීතාවය සහ යොදා ගැනීම පිළිබඳව විද්‍යාත්මකව පර්යේෂණ ක්‍රියාවලියට නැඹුරු වෙමින්, නිර්මාණාත්මක ක්‌ෂේත්‍ර තුළ ජනමාධ්‍ය අධ්‍යයනාංශය ඉදිරියට යමින් සිටී.


ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය
ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්
ජනමාධ්‍ය අධ්‍යයනාංශය
ශ්‍රීපාලි මණ්‌ඩපය කොළඹ විශ්වවිද්‍යාලය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.