මානව වංශ කථාවේ කාන්තාවට
නිසි තැන හිමිකර දුන්
මහා දාර්ශනිකයාණෝ



ක්‍රි. පූර්ව හය වැනි සියවස මානව ඉතිහාසයේ සුවිශේෂ ඉතිහාසයකි. ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම දාර්ශනිකයින් වන බුදුන් වහන්සේ, මහා වීරයන්, චීනයේ කොන්ෆියුසියස්‌ හා ග්‍රීක දර්ශන ඉතිහාසයේ පියා බඳු වූ තේල්ස්‌ වැනි මහා පුරුෂයන් බිහි වූයේ මෙම සියවස තුළදීය. එවන් වූ මහා පුරුෂයන් අතර වුව ද අසම සම මහා පුරුෂයා, දාර්ශනිකයාණන් වූයේ ගෞතම බුදුන් වහන්සේ බව තර්කානුකූලය.

කොහොම නමුත්, ක්‍රි. පූර්ව 06 වැනි සියවස වනවිට භාරතයේ කාන්තාව සනිසි ඇගයීමකට, පිළිගැනුමකට ලක්‌ව සිටි බවට වඩා දක්‌නට ඇත්තේ එවැනි පසුබිමක්‌ නොතිබූ බවට වන සාධකය. එහෙත් ක්‍රි. පූර්ව හය වැනි සියවස වනවිට දීත් ලංකාවේ කුවේනිය හෙවත් කවන්නා, ප්‍රාදේශීය රැජිනක්‌ ව සිටි බවට අපේ ඉතිහාසය සාක්‍ෂි සපයයි. ඒ අර්ථයෙන් ගත් කළ අපේ සමාජය මොනයම් හේතුවකින් හෝ කාන්තාවට හිමිවිය යුතු වැදගත් ස්‌ථානයක ඇයව තැබීමට කටයුතු කොට තිබූ බවක්‌ ඉන් ගම්‍ය වේ.

පුරාණ ලෝකයේ දේශ ගවේෂණ සටහන් අනුවත් ලංකාව වාණිජ මධ්‍යස්‌ථානයක්‌ ව තිබූ බවටත්, කාන්තාවන් එම වෙළෙඳ කටයුතු වල යෙදී සිටි බවටත් අනාවරණය කෙරේ.

එහෙත් මහා භාරතය තුළ බුදුන් වහන්සේ කාන්තාවට බිරිඳක්‌ වශයෙන් නිවහනේ සැබෑ සහකාරියකගේ තත්ත්වය හිමිකර දීමට ක්‍රියාත්මක වූයේ, කටයුතු කළේ අතිශය ගෞරවණීය තත්ත්වයක්‌ ද හිමිකර දෙමිනි. විවාහයෙන් පසුව සහකාරිය ස්‌වාමිපුරුෂයාට ඉටු කරන යුතුකම් වලට සමාන ආකාරයෙන් සහකාරියට ද ස්‌වාමිපුරුෂයා ඉටු කළ යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුන් වහන්සේ අවධාරණය කළහ. එම ඉටු කළ යුතු දැ මෙසේය.

ගරු සරු ඇතිව කථා කිරීම (සම්මානනාය)

අවමන් නොකිරීම (අවමානනාය)

අනාචාරයේ නොහැසිරීම ( අනති චරියාය)

ඉසුරු - සම්පත් පවරා දීම (ඉස්‌සරිය වොස්‌සග්ගේන)

අලංකාර වස්‌ත්‍රාභරණ ගෙනවිත් දීම (අලංකාරනුප්පදාගේන)

මෙකී යුතුකම් ඉටු කරන ලෙස පෙන්වා දීමෙන් පෙනී යන්නේ බුදුන් වහන්සේ කාන්තාවට බිරිඳක්‌, සහකාරියක්‌ වශයෙන් වරප්‍රසාද සමාන ආකාරයට හිමිකරදුන් අන්දමයි. ඒ වෙනුවෙන් උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය සූත්‍ර පිටකයේ සූත්‍ර රාශියකින්ම අනාවරණය වේ. ඒවා අතර කුමාරිකෝවාද සූත්‍රය, සප්තපරියා සූත්‍රය, සංවාස සූත්‍රය වඩාත් කැපී පෙනේ.

බුදුන්වහන්සේ අම්මා ගෙදර බුදුන්වහන්සේගේ තත්ත්වයට පත් කළහ. ඒ නිසා ගැමි ජන වහර තුළ ව්‍යවහාරයට එක්‌වනුයේ "බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට" යන අරුතය.

එසේම අම්මා බුදුවේවාෘ යන ප්‍රාර්ථනය ද දරුවකුගේ මුවගින් නිරතුරු පිටවන්නට විය. අම්මා හැඳින්වීම උදෙසා බුදුන්වහන්සේ "සම්මානනීය" ගුණ නාමයන් කිහිපයක්‌ ම භාවිත කළහ. ඒවා අතර බ්‍රහ්ම, පුබ්බාචරිය, ආහුෙන්‍යය, අනුකම්පක, යනාදිය දැක්‌විය හැකිය.

"බ්‍රහ්මාති මාතා පිතරෝ - පුබ්බා චරියනි වුචිචරේ

ආහුෙන්‍යයාව පුත්තානං - පජාය අනුකම්පකා"

යනුවෙන් පෙන්වා දී ඇත්තේ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ඛා යන සිව් ගුණයෙන් සමන්විත වන හෙයින් "බ්‍රහ්ම" යනුවෙන් ද, මුල් ගුරුභවතෙකු වන හෙයින් "පුබ්බාචරිය" ලෙසින් ද, ඈත දුර සිට යමක්‌ ගෙනවිත් දීමට සුදුසු වන හෙයින් "අනුකම්පක" යනුවෙන් ද හ»න්වා දී ඇත.

මෙවැනි උසස්‌ තලයකට මාතෘත්වය ඔසවා තැබීම උදෙසා කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, වසල සූත්‍රය, පරභව සූත්‍රය ආදි වූ සුවිශේෂ සූත්‍ර දෙසුම් මගින් උන්වහන්සේ කාන්තාවට ලබා දිය හැකි උපරිම අයිතීන්, වරප්‍රසාද හා ගෞරවය කිසිදු අඩුවකින් තොරව ලබා දුන්හ.

බුදුන් වහන්සේ කාන්තාවන්ට සැබෑ ලෙසම ගෞරවයකින් යුතුව ගෘහණියක්‌ ලෙස නිවහන තුළ වැඩකටයුතුවල යෙදීමට අවශ්‍ය පරිසරය ගොඩනඟා දුන් සේක. ස්‌වාමි පුරුෂයා මෙන්ම බිරිඳට ද නිදහස්‌ව, නිවහල්ව, ගෞරවයකින් යුතුව නායකත්වයක්‌ ද සහිතව නිවහනේ පාලනයට ද සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට ඇවැසි ඉඩකඩ, පරිසරය සකසා දුන් ආකාරය දැකගත හැකිය. ස්‌වාමිපුරුෂයාගේ යුතුකම් පිළිබඳව තියන තැන ඉස්‌සරිය වාගේන (ඉසුරු සම්පත් පවරා දීම" ලෙසින් දක්‌වා තිබේ. එනම්, නිවහනේ නායකත්වය ඇයට ලබා දිය යුතුය යන්නයි. නිවසේ නායකත්වය ඇයට පැවරීමෙන් පසු එය නිසි ආකාරයෙන් ක්‍රියාවට නැගීම වඩාත් දූරදර්ශීව කළයුතු බවත් දක්‌වා තිබේ.

"සම්භතංව අනුරක්‌ෙ€ති" (සැමියා සොයා ගෙවිත් දෙන ධනය හා වෙනත් භෞතික සම්පත් අරපිරිමැස්‌මෙන් යුතුව පරිහරණය කිරීමට හැකියාවක්‌ ඇති කර ගත යුතුය.) භායH_වක්‌ වශයෙන් නිවසේ කටයුතු කරද්දී තමා ගෘහණියක්‌ බව අවබෝධ කර ගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක්‌ බව බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරමින් කාන්තාවට විශේෂ වරප්‍රසාද හිමිකර දුන් අයුරු දක්‌නට ලැබේ.

බුදුන්වහන්සේ කාන්තාවට සමාජයේ ඕනෑම කටයුත්තකට සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට අවස්‌ථාව සලසා දුන්හ. පුරුෂයා සමාජයේ යම් කටයුත්තකට සම්බන්ධ වී ක්‍රියා කරයි ද එපරිද්දෙන් ම කාන්තාවට ද කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියා කිරීමට අවශ්‍ය වටපිටාව ගොඩනඟා දුන්හ.

"නසෝ සබ්බේසු ඨානේසු - පුරිසෝ හෝති පණ්‌ඩිතෝ

ඉත්සී පණ්‌ඩිතා හෝති - තත්ථ තත්ථ විචක්‌ඛනා

මෙමගින් ප්‍රකාශ වනුයේ සෑම තැනකදීම පුරුෂයා පමණක්‌ නොවන බවත්, ඒ ඒ ස්‌ථානයන් හිදී විචක්‍ෂණශීලී කාන්තාව පුරුෂයා අභිබවමින් පණ්‌ඩිත වන බවත්ය. එසේ නම් කාන්තාවට ඕනෑම ස්‌ථානයක ස්‌වාමියා හා සමාන අයුරින් සමාජ සේවා කටයුත්තකට සම්බන්ධ වෙමින් ක්‍රියා කිරීමට හැකියාවක්‌ පවතින බව අවධාරණය කළහ. සමාජ සේවිකාවක්‌ වශයෙන් කාන්තාවට පූර්ණ අයුරින් ඉදිරියට යැමට හැකියාව, සත්‍යතාව, පවතින බව මේ තුළින් පැහැදිලි වේ.

බුද්ධ කාලීන කාන්තාව උවැසියන් වශයෙන් පමණක්‌ නොව භික්‍ෂූණියක්‌ ලෙසින් ද, සිය නිදහස උපරිම ආකාරයෙන් භුක්‌ති විඳීමත්, සිය හැකියාවන් වර්ධනය කර ගනිමින් භික්‍ෂූන් වහන්සේලා මෙන්ම විමුක්‌තිය ද සාක්‍ෂාත් කර ගනිමින් සමාජයට ඉතා පුළුල් මෙහෙවරක්‌ කිරීමට, ජනයා සුමගට ගැනීමට බුදුදහම ප්‍රචාරය කිරීමට පූර්ණ ඉඩකඩ, දායකත්වය ලැබුණු බව සඳහන් කළ යුතුය. සිව්වනක්‌ පිරිස තුළ භික්‍ෂු සමාජය ඇති කරද්දී භික්‍ෂුණී සමාජය ද ඇති කළහ.

සෑමවිටම සමානාත්මතාව අගය කළ බුදුරදුන් භික්‍ෂුන්ට තනතුරු පිරි නමද්දී භික්‍ෂූණීන්ට ද තනතුරු ලබා දුන්හ. සැරියුත් - මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනමද්දී භික්‍ෂුණීන් වහන්සේලා අතරින් ෙ€මා, උප්පලවන්නා දෙදෙනාටම අග්‍රශාවිකා තනතුරු පිරිනැමූහ.

කොහොම නමුත් එවක මහා භාරතයේ පැවැති බමුණු චින්තනය නිසා ඉතාමත් අසරණව සිටි භාරතීය කතුන් නිදහස්‌ චින්තනයක්‌ ඔස්‌සේ කවර අයුරින් ඉදිරියට ගියාද යන්න භික්‍ෂූණි භාවය ලැබීමෙන් පසු පළ කළ අදහස්‌ ඇතුළත් ථෙරි ගාථාවන් හි සඳහන් වන භාවාත්මක, සුලලිත ගීතයන්ගෙන් මැනවින් පැහැදිලිය. භික්‍ෂූණී භාවය ලබා ගනිමින් නිදහස්‌ චින්තනයක්‌ හරහා කටයුතු කළ කාන්තාවන් තම දක්‍ෂතා සෑම ක්‍ෂේත්‍රයකින්ම වර්ධනය කරගත් ආකාරය සෝමා තෙරණියගේ ප්‍රකාශයකින්ම පැහැදිලි වේ.

ඉත්ථි භාවෝ තෝ කිං කයිරා - වත්තම්භ සුසමාභිතෝ

ඥානම්හී නන් මානම්හී - සම්මා ධම්මං විප්සිනෝ

හිත මනාකොට හික්‌මවා ගත හැකි නම් බුදුන් වහන්සේ දේශනා කළ චතු සත්‍යාවබෝධය ලැබිය හැකි නම් ස්‌ත්‍රී භාවය කුමක්‌ කරන්නද? යනුවෙන් විමුක්‌තිය උදෙසා ගැහැණුන් - පිරිමින් බල නොපාන බවත්, ඊට අවශ්‍ය වන්නේ නුවණ පමණක්‌ බවත් ප්‍රකාශ කරමින් නිදහස උපරිම අයුරින් භුක්‌ති විඳිනු ලැබූ අයුරු දැක ගත හැක. මේ ආකාරයට බෞද්ධ ධර්මය තුළින් කාන්තාවන්ට සෑම අංශයකින්ම වරප්‍රසාද හිමි කර දුන් ආකාරය දක්‌නට ඇත.

කාන්තාවත් බුදු සසුනත් අතර ඇත්තේ නොසැලෙන බැඳීමකි. එම බන්ධනය බුද්ධ කාලයේ සිට වර්තමානය තෙක්‌ම ඒ ආකාරයෙන්ම පවතී. බෝසතාණෝ සම්බුද්ධත්වයට පත් වූ පසු උන්වහන්සේට මුල්ම දානය පූජා කරනු ලැබුවේද කාන්තාවක්‌ විසිනි. පසු කාලීනව සුජාතාව බුදුසසුණේ අග්‍ර දායිකා තනතුර පවා ලබා ගැනීමට භාග්‍ය උරුම කර ගත්තාය. මහා ප්‍රජාපතී ගෝතමිය ද වරක්‌, දෙවරක්‌, තෙවරක්‌ නොව කීප වරක්‌ම වෙහෙස මහන්සි වී කෙසේ හෝ කාන්තා පැවිදි භාවය බුදුන් වහන්සේ ලවා තහවුරු කර ගත්තේ කාන්තාව සතු නොසැලෙන විශ්වාසය, ශක්‌තිය, තහවුරු කරමිනි.

මෙපමණක්‌ නොව බුදුදහම, බෞද්ධ සංස්‌කෘතිය අධ්‍යයනය කිරීමේ දී කියවා බැලීමේ දී මනාව පැහැදිලි වනුයේ බුදුසුන තුළින් සමතැන් ලබාදුන් බවයි. කාන්තාවට සමතැන් දීම හා වරප්‍රසාද හිමිකර දීම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් සමග නිමා නොවීය. ධර්මාශෝක රජතුමාගේ රාජ අනුග්‍රහයෙන් තෙවන ධර්ම සංගායනාව අවසන්වීමෙන් පසු විදේශීය ධර්ම ප්‍රචාරයේදී ලංකාවේ භික්‍ෂූණී ශාසනය පිහිටුවීමට වැඩම වූයේ සංඝමිත්තා මහාරහතන් වහන්සේය. උඳුවප් පොහෝ දිනක සංඝමිත්තා තෙරණිය ජයශ්‍රීමහා බෝ සමිඳුන්ගේ දක්‍ෂිණ අංකුරයක්‌ වැඩමවාගෙන ලක්‌දිවට වැඩම කළේ කාන්තා ස්‌වාධිපත්‍ය සනාථ කරමිනි. සංඝමිත්තා මෙහෙණීන් වහන්සේ එසේ ධර්ම ප්‍රචාරයේ යෙද වූයේ අන් කිසිදු හේතුවක්‌ නිසා නොව, කාන්තාවක්‌ වුවද එතුමිය සතු ප්‍රඥවන්ත භාවය හේතුකොට ගෙනය.

සඟමිත් මෙහෙණින් වහන්සේ ගරු සරු මධ්‍යයේ, ගරු ගාම්භීරව එසේ වැඩම කළේ සමස්‌ත කාන්තා පරපුරටම වර්තමානයේ ද බුදුදහම බෞද්ධ දර්ශනයට ශ්‍රද්ධාවෙන් නැඹුරු වී ඇති පිරිස අතරින් බහුතරය ලක්‌ වනිතා පරපුරයි. බෞද්ධ කාන්තා සමිති පිහිටුවා ගනිමින් ඒකරාශී වී සම්බුද්ධ ශාසනයට ඉටු කරන මෙහෙවර අනභිබවනීය යි. එය ඉමහත් ගෞරවයකි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොත වන විට මෙහෙණි සස්‌නක්‌ ස්‌ථාපිත වෙමින්, භෞතිකව වෙහෙර, විහාරස්‌ථාන, බුදු පිළිම වහන්සේලා ඉදි කෙරෙමින් භෞතිකව බුදු දහමේ පුනර්ජීවනයක පෙර නිමිති පහළ වූවත්, අධ්‍යාත්මික පුනර්ජීවනයක්‌ උදෙසා මේ මාහැඟි අවස්‌ථාව යොදා ගැනීමට රාජ්‍ය නායකත්වයත්, ආගමික නායකත්වයත්, ඒ වගේම විශේෂයෙන් මේ රටේ බෞද්ධ ජනතාවත් උත්සුක වීම අතිශයින් ම වැදගත් සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා පිළිවෙතින් පෙළ ගැසිය යුත්තේ ද එබැවිනි.


පූජ්‍ය ඌවතැන්නේ
සුමන ස්‌ථිවිර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.