වෙසක්‌ පෝයෙන් අවසන් වන
සිරිපා වන්දනා සමය


සිරිපා වන්දනා සමය උඳුවප් පොහොයෙන් ඇරැඹී වෙසක්‌ පොහොයෙන් නිමාවට පත්විය. පුරා සය මාසයක්‌ මෙහි වන්දනාකරුවන් ගැවසී ගත්තද අනෙක්‌ සය මාසය හෙවත් සිරිපා අවාරයට මේ කඳු සිඛර තරණය කරන්නෝ ද එමට වෙති. එහෙත් ඒ අවාරය වන සතුන් නිදහසේ ඔබ මොබ යන කාලයයි. අලි මංකඩවල් ඔස්‌සේ සැරිසරන වල් ඇතුන් හට බාධාවක්‌ නොවන්ට මිනිස්‌ සතුන් වහන්ව සිටිය යුතු කාලයයි. එසේම මහ හිමයේ වසන යෝගාවචරයන් වහන්සේලා ද ඉඳහිට හෝ මිනිස්‌ වාසයට පැමිණීමට උත්සාහ දරන්නේ මේ කාලයේදීය. ඓතිහාසික සිරිපා රජ මාවත ඔස්‌සේ පලාබත්ගලට බසින මේ භික්‍ෂූන්වහන්සේලා දුටු මතින් අප සිහිපත් කරදෙන්නේ එදා දහසක්‌ මහරතිතුන්ට වන වාසයක්‌ වූ පලාබත්ගල පිරිවෙනයි.

මෙම පලාබත්ගල වන වාසයේ ආරම්භය දඹදෙණි යුගය දක්‌වා දිවයයි. පූජාවලියේ සඳහන් පරිදි දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අනුමැතිය පරිදි ප්‍රතිපත්තිගරුක භික්‍ෂූන් වහන්සේලා කැඳවා ගම් වාසයෙන් දෙවිසි නමක්‌ ද වන වාසයෙන් දෙවිසි නමක්‌ ද තෝරාගෙන පලාබත්ගල ප්‍රදේශයේ අභිනව වනවාසයක්‌ ද පරිවේණස්‌ථානයක්‌ ද කරවා ඇත. පලාබත්ගල වනවාසය මෙන්ම පිරිවෙන ද එකල දසදෙස පූජිත විය. එයට හේතුව පලාබත්ගල ධර්මකීර්ති පරම්පරාවයි. දෙවැනි පැරකුම් අවධියේදී මෙරටට වැඩමවූ තාඹුලිංගමු රට (තම්බ රට්‌ඨ) ධම්ම කිත්ති මහනාහිමියන් එම රට වැඩ වාසය කළ දොළොස්‌ දහසක්‌ භික්‍ෂූන් වහන්සේලා අතරින් ප්‍රමුඛ විය. උන්වහන්සේ යන එන මඟ දෙපස පෙර මඟ පියුම්පත් නැංගා යෑයි කියෑවේ. දෙවැනි පැරකුම් රජු උන්වහන්සේ මහත් ගෞරවයෙන් වඩම්මවාගෙන අවුත් එකලට අවශ්‍ය භික්‍ෂූන් වහන්සේලා පුහුණු කිරීමට පලාබත්ගල පිරිවෙන ආරම්භ කරන්නට ඇතැයි කල්පනා කළ හැකිය.

පලාබත්ගල පිරිවෙන සියවස්‌ ගණනාවක්‌ තුළ ශාස්‌ත්‍රීය ආලෝකය පතුරුවාලමින් වැජඹුණ ද අනිත්‍ය යළිත් වරක්‌ මෙනෙහි කරමින් ජරාවාසව ගියේය. බ්‍රිතාන්‍ය සමය වන විට එම ප්‍රදේශය වල්වැදී ඉඩකඩම් පවා අන් සන්තකව ගියේය. පූජ්‍ය කිරිඇල්ලේ ඥණවිමල හිමිපාණන් පලාබත්ගල කරන ලද ගවේෂණයේදී හෙළිවූයේ මේ පිරිවෙන් භූමිය තේ වත්තකට යටව ඇති ආකාරයයි. එම අයිතිකරු එහි තිබුණු පුරාවස්‌තු සියල්ල එක්‌රැස්‌ කොට වළක්‌ කපා වළ දැමූ බව පැරැන්නෝ පවසති. ඉතිරිව තිබූ ගල් කණු කීපයක්‌ අභිනව විහාරස්‌ථානය සෑදීමට භාවිත කර ඇත. ශ්‍රීපාද ගමන් මාර්ගයේ ද ගල් කණු කීපයක්‌ ඉතිරිව ඇත. පිරිවෙන් භූමියේ තිබූ පතහ හා ගොඩනැඟිලි කිසිවක්‌ ඉතිරි කර නොතබාම මේ කීර්තිමත් ස්‌ථානය පසින් යට වී තිබේ.

එම ඓතිහාසික පිරිවෙන් භූමියේ විශ්‍රාම ශාලාව අසල සිට හාත්පස සිසාරා බැලීමි, පසට යටව ඇති කිසිවක්‌ පෙනෙන්නට නැත. පලාබත්ගල නිවැසි තිලකසිරි අමරසේකර මහතාණන් මීට වසර කීපයකට ප්‍රථම පූර්වෝක්‌ත පතහ සමීපයෙන් ලබාගන්නා ලද මැටි මුද්‍රිකාව මා අබියස තිබේ. සියුම් මැට්‌ටෙන් තනන ලද මෙම මුද්‍රිකාව නිසැකවම දඹදෙණි අවදියට අයත්ය. මෙම මුද්‍රිකාව මගින් කඩදාසියක, තල්පතක හෝ මැටි පුවරුවක හෝ තබන ලද මුද්‍රdව එදා පලාබත්ගල පිරිවෙනින් පිට වූ ධම්මකිත්ති පරම්පරාවේ භික්‍ෂූන් වහන්සේලාගේ කීර්තිනාමය සනිටුහන් කරන්නට ඇත. සිය අධ්‍යාපනය අවසන් කොට ආපසු ගමන් ආරම්භ කරන අවස්‌ථාවේ දුන් උපාධිය සහතික කරවන්නක්‌ වන මේ මුද්‍රිකාව මගින් වැදගත් ඉතිහාසයක්‌ අප ඉදිරියේ විවර කර දෙයි.

රත්නපුර සිට පලාබත්ගලට දිවෙන කි.මී. 23 ක්‌ පමණ වන මහාමාර්ගය වළ ගොඩැලි සහිතය. සිරිපා වාරයට එය යම් තරමකින් අලුත්වැඩියා කරන නමුත් ලෝක පූජිත රජ මාවතක්‌ වශයෙන් මේ මාර්ගය වඩා හොඳින් සංවර්ධනය විය යුතුය. සමන් දේවාලයේ බස්‌නායක නිලමේ සුනිල් වීරසේකර මහතාගේ මූලිකත්වයෙන් සියක්‌ නමක්‌ භික්‍ෂූන් වහන්සේලා රජ මාවත ඔස්‌සේ සිරිපා මළුවට වඩම්මවා එහිදී ජය පිරිත් දේශනා කොට දානය පිළිගැන්වීමේ මහඟු පින්කමක්‌ 2010 නවම් මාසයේදී ප්‍රථම වරට පැවැත්විණි. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සෙත් පැතීම ද එහි මූලික අරමුණක්‌ විය. සබරගමුව පළාත් සභාව වෙනුවෙන් මා එම ගමනට සහභාගි වීමේ අරමුණ වූයේ මේ රජ මාවතේ වන්දනාකරුවන්ට තිබෙන පහසුකම් සොයා බලා වාර්තා කිරීමයි. මේ ගමනට දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරී සිසිර වන්නිආරච්චි මහතා ද පලාබත්ගල චන්ද්‍රසෝම කලවාන මහතා ද සහභාගි විය.

වත්මන් රජ මාවත පලාබත්ගල අභිනව විහාරස්‌ථානය අබියසින් දැනට ආරම්භ වන නමුත් මහා මාර්ගය සංවර්ධනයට ප්‍රථම එහි ආරම්භය ගිලීමලේ රජමහා විහාරස්‌ථානය විය. ඉළුක්‌වත්ත අම්බලමෙන් පිටත්ව ගඟෙන් එතෙරව ගිලීමලේ රජමහා විහාරස්‌ථානයට පිවිසෙන වන්දනාකරුවන් මහා විජයබා නිරිඳු එදා එහි පිහිටවූ ගිලීමලේ සුප්‍රසිද්ධ සෙල් ලිපිය ද නරඹා පලාබත්ගලට පා ගමනින් ගමන් අරඹයි. අද මෙම මාර්ගය අභාවයට පත්ව ඇත. වන්දනාකරුවන්ගේ අවධානයට වඩා නිධන් හොරුන්ගේ අවධානය එම ප්‍රදේශවලට ලැබේ.

පලාබත්ගල වත්මන් විහාරස්‌ථානයට යාබද පාසලේදී භික්‍ෂූන් වහන්සේලා විෂයෙහි පැවැති හීල් දානයෙන් පසුව සිරිපා මග තරණය කිරීම මේ ඓතිහාසික ගමනේ පරමාර්ථය විය. පවනැල්ල කොඩිය කඩේ ඔස්‌සේ ලිහිණිහෙලට පැමිණීම එහි මූලික පියවර විය. පලාබත්ගල බස්‌ නැවතුම්පළ අසල තිබෙන අම්බලම ශත වර්ෂයකට වඩා පැරැණි යෑයි සිතමි. බ්‍රිතාන්‍ය යුගයේදී තනවන්නට ඇතැයි කල්පනා කළ හැකිය. කොට බිත්ති සහිත ටකරන්වලින් සෙවිලි කරන ලද්දකි. ශීත දේශගුණයට සහ වර්ෂාධික කාලවලට මේවා අපහසුතාවලින් පිරී ඇත. පලාබත්ගල පුණ්‍ය භූමිය ශුද්ධ භූමියක්‌ බවට පත්කරලීමේ පිඹුරුපත් සකස්‌ වූයේ මීට කලකට ඉහතදීය. ඉඩකඩම් ද වෙන්කර ඇති නමුත් පූජා භූමි අමාත්‍යාංශය අහෝසි වූ පසු එම සැලැසුම් අඩපණ වූවා සේය. පුරාවස්‌තු හා නටබුන් පවතින පැරැණි පිරිවෙන් භූමිය තවමත් පුරාවිද්‍යා භූමියක්‌ නොවේ. එම ඉඩම් අතින් අත ගිය පසු ගවේෂණයට යමක්‌ ඉතිරි වන්නේ නැතැයි සිතේ. පලාබත්ගල පුණ්‍ය භූමිය වන්දනාකරුවන්ගෙන් පිරී යන කාලයට මෙහි සිටින මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් සක්‍රීය වෙයි. දැනටමත් ඒ අවට හොර මත්පැන් හල් විසි දෙකක්‌ පැතිරී පවතින්නේ යෑයි කියති. මේ ස්‌ථානය ඉතා ඉක්‌මනින් ශුද්ධ භූමියක්‌ බවට පත්කරගත යුත්තේ මෙවැනි අපචාර දිනෙන් දින දියුණු වන බැවිනි.

සිරිපා රජ මාවතේ ගමන් ගන්නා වන්දනාකරුවන්ගේ පහසුව තකා පඩි බැඳීම ආරම්භ වූයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙනි. අප එහි යන විට පඩි හයදහස ඉක්‌මවා බැඳීම අවසන් කර තිබිණි. මේ වන විට ආඬියාමල තැන්න අම්බලම දක්‌වා ඒවා සංවර්ධනය වන්නට ඇත. මෙකී සත් කාර්යය මෙන්ම අප එහි යන විට ගෙත්තම්පාන අම්බලම ද ඔවුන් විසින් අලුත්වැඩියා කර තිබිණි. මනුෂ්‍යයකුට තබා ගව රැළකටවත් සිටීමට අහිතකර මේ අම්බලම් දීර්ඝ කාලයකින් පූර්ණ වශයෙන් අලුත්වැඩියා කර නොමැත. සිsරිපා ගමන් වාරයේ කඩ වෙන්දේසි කිරීම භාරව තිබෙන කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මේවා කොන්ත්‍රාත්කරුවන් ලවා වාර්ෂිකව හුනු පිරියම් කරනු ලබති. එහිදී කඩ වෙන්දේසියේදී ලැබෙන මුදල් එම කටයුත්ත සඳහා යෙදවිය යුතුය. සාමාන්‍යයෙන් ලක්‍ෂ පහක පමණ මුදලක්‌ එහිදී එකතු වෙයි. එහෙත් පළාත් සභාව කලකින් එම මුදල් අදාළ ආයතන වෙත නිදහස්‌ කිරීමට පියවර ගෙන නොතිබුණි. කුරුවිට සහ රත්නපුර මාර්ගයේ අම්බලම් පහළොවක්‌ දක්‌නට ඇති අතර ඒ සියල්ලම සැබැවින්ම ශතවර්ෂයකට වඩා පැරැණි වෙති. හැටන් මාර්ගයට වැඩි ප්‍රමුඛතාවයක්‌ ලැබෙන බැවින් ඇතැම් විට මේවා නොසලකා හැර ඇත. වැසිකිළි වල් වැදී ඇත. 2010 වර්ෂයේදී මේවා අලුත්වැඩියාව සඳහා ඇස්‌තමේන්තු කරන ලද මුදල රුපියල් 916,225 ක්‌ විය. මේ තත්ත්වය තුළ යට කී මුදල් ද නිදහස්‌ කරමින් අතිරේක මුදලක්‌ වැය කිරීමට රජයේ නිලධාරීන්ට සිදුවිය. ඒ අනුව රණවිරුවන් කරන මේ සත්කාර්යය සැබැවින්ම මහඟු පින්කමක්‌ වෙයි.

ළිහිණිහෙල අම්බලමට නුදුරුව තිබෙන ගජමන් නෝනාගේ අම්බලම ඓතිහාසික ස්‌ථානයකි. නමුත් ප්‍රමාණවත් නඩත්තු කිරීම්වලින් තොරව කාලාන්තරයක්‌ පැවැතීමත් සිරිපා අවාරයට අලි ඇතුන්ගේ මංකඩක්‌ බවට පත්වීමත් නිසා අද මෙම ස්‌ථානය අභාවයට ගොස්‌ ඇත. වහල කඩා වැටී බිත්ති විනාශ මුඛයට ගොස්‌ තිබේ. එහි පවතින ඓතිහාසික ළිඳ තවමත් දක්‌නට ඇත. මෙම ස්‌ථානය කලකට ඉහත සංරක්‍ෂණය කළේ නම් එයට සුවිශේෂී සංචාරක අගයක්‌ ද එකතු කළ හැකිව තිබිණි. ගෙත්තම්පාන පසුකර යන විටදී තවත් වැදගත් පුරාවිද්‍යා ස්‌ථානයක්‌ හමුවේ. ඒ ධර්මරාජ ගලයි. ධර්මරාජ තාපසයාගේ රුව සහිත සෙල් ලිපිය ද එහි පඩි පෙළ සමීපයේ දක්‌නට ලැබෙන අතර එය පසින් යට වී විනාශ මුඛයට යමින් පවතී.

ළිහිණිහෙල අම්බලමේ සූදානම් කර තිබූ දහවල් දානය සකස්‌ කර තිබුණේ යුද හමුදාව මගිනි. එම අම්බලම සුවිසල්ය. පහසුකම් සහිතය. එයද හමුදාවේ වාසය නිසාවෙනි. ගෙත්තම්පාන පසුකොට ඉදිරියට ඇදෙන විට හමුවන්නේ හැරමිටිපාන අම්බලමයි. එහි ගොඩනැඟිලි රාශියකි. නිරන්තරයෙන් වන්දනාකරුවන්ගේ වාසයට යොමුවේ. හැරමිටිපානේ සල්පිල්කරුවන්ගේ කතාව ද අපට ඉතා වැදගත් විය. සිරිපා රක්‍ෂිතය තුළ දර මගින් ගිනි දැල්වීම තහනම්ය. දර පිටතින් ගෙන යැම ද තහනම්ය. ඒ වෙනුවට ගෑස්‌ භාවිත කළ යුතුය. ගෑස්‌ ටැංකියක්‌ ඉහළට ගෙන යැමට සාමාන්‍යයෙන් 1,500 ක පමණ මුදලක්‌ අයකෙරේ. වන්දනා සමයට දන්සල් දෙන සමිති සමාගම් ද මේ හා සමාන දුෂ්කරතාවලට මුහුණදෙති. පිටතින් දර ගෙන ගොස්‌ ගිනි දැල්වීම ඔවුනට ද තහනම් කර ඇත.

මේ සඳහා විකල්පයක්‌ සෙවිය යුතු යෑයි කල්පනාවෙන් සිරිපා මළුවට පිවිස එහි හාත්පස සිසාරා බැලීමේදී අපගේ විමර්ශනයට අසු වූ එක දෙයක්‌ විය. ඒ එහි වැසිකිළි පද්ධතියයි. මහගිරිදඹේ ගල මුදුනට නැගීමට එදා යකඩ දම්වැල් සවිකර මළුව සංවර්ධනය කිරීම දක්‌වා කර ඇති දුෂ්කර සමාජ සත්කාරය යුග ගණනාවකට අයත්ය. සැදැහැවත් බෞද්ධයන්ගේ දායකත්වය ලබාගනිමින් සිරිපා භාරකාර මණ්‌ඩලය ඉටුකර ඇති සේවය නිසා අද එහි විශාල පිරිසකට එකවර නවාතැන් ගත හැකිය. නමුත් එහි වැසිකිළි පද්ධතියේ මළ අපද්‍රව්‍ය සියල්ල ගල දිගේ පහළට ගොස්‌ කැලයට පතිත වේ. මේ වැසිකිළි අපද්‍රව්‍ය හා එකතු වන දිරා යන කසළ භාවිත කොට ජීව වායු ඒකක කීපයක්‌ නිර්මාණය කිරීමේ හැකියාව ද එහි පවතින බව අපට පෙනී ගියේය. රත්නපුර මාර්ගයේ ආඬියාමල තැන්න එයට සුදුසු භූමිය යෑයි සිතමි. එම කාර්යය සඵල කරගතහොත් වන්දනා සමයට කඩ බදුගෙන ඇති සල්පිල්කරුවන්ට මෙන්ම දන්සල් දෙන්නන්ට ද විශාල සහනයක්‌ අත්වෙනවා නිසැකය.

සිරිපා වන්දනා සමයේ තිබෙන ප්‍රධානතම ප්‍රශ්න අතර සිරිපා මළුවට ගෙන එන කැළි කසළ සඳහන් කළ හැකිය. මේවායින් වැඩි පිරිසක්‌ පොලිතින් සහ ඇලුමිනියම් කවරය. විස්‌කෝතු සහ ග්ලූකෝස්‌ භාවිතය මෑත කාලයේදී අධික වශයෙන් ඉහළ ගොස්‌ ඇත. ශීත දේශගුණයට සහ ශක්‌තිය ලබාගැනීමට එදා වන්දනාකරුවන් භාවිත කළ අලුවා හා අග්ගලා ගෙන යන වන්දනා නඩ දැන් හමුවන්නේ ඉතා කලාතුරකිනි. තුන්සරණය කියමින් සමන් දෙවියන්ගේ අඩවියේ පවතින විවිධ තහංචි පිළිපදිමින් කරන සැබෑ වන්දනාව දැන් සංචාරයක්‌ බවට පත්ව තිබේ. සීත ගඟුලේ සීතල දිය දහරා දිගේ අද දහස්‌ ගණනක්‌ පොලිතින් කවර හේදී යයිs. ඒවා වැඩි ප්‍රමාණයක්‌ ශැම්පු කවරය. හැටන් පාරේ පමණක්‌ දිනකට විසි දහසත් හතළිස්‌ දහසත් අතර ප්‍රමාණයක්‌ මේ කවර පරිසරයට මුදාහැරෙන බව සමීක්‍ෂණයකින් හෙළිවී ඇත.

සිරිපා මළුවට නගින අතරවාරයේ අපට මුණගැසුණු ළමා අයිතිවාසිකම් හා පරිසරය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ ඔවුන්ගේ සමාජ මෙහෙවර ඉටුකරමින් සිටියහ. ඔවුන් විසින් එකතු කරන ලද විස්‌කෝතු කවර හා අපද්‍රව්‍ය දුටු මතින් වර්තමාන සිරිපා වන්දනාවේ යථාර්ථය පසක්‌ විය. මේ අපද්‍රව්‍ය නිතිපතා එකතු කළ යුතුය. ඒ සඳහා කාලයක්‌ තිස්‌සේ විවිධ වූ පරිසර සංවිධාන ලබාදෙන දායකත්වය රත්නපුර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය හා පරිසර නිලධාරීන් විසින් ද සම්බන්ධීකරණය කරයි. පවනැල්ල පොලිස්‌ මුරපළේ සිට වන්දනාකරුවන් ගේ ගමන් මලු ද පරීක්‍ෂා කෙරෙති. එහෙත් සංචාරකයන් නැවතත් වන්දනාකරුවන් බවට පත්වී නොමැත.

භික්‍ෂූන්වහන්සේ සියක්‌ නමක්‌ සිරිපා මළුවට වැඩම කරවා කළ ජය පිරිත රටට ජාතියට කළ සෙත් පැතීමකි. සිරිපා මළුවේ භාරකාර පූජ්‍ය දම්පහළ සීලානන්ද හිමියන් සහ කෘත්‍යාධිකාරී පූජ්‍ය කෝප්පකන්දේ ශ්‍රී සුමන නායක හිමියන් එහි වැඩ සිටි අප සැමට කළ අනුගහය එම කර්තව්‍යය සාර්ථක කරගන්නට නොමඳ පිටිවහලක්‌ විය. හිරිගඩු පිපෙන සීතල පවනැල්ලේ අප සියලු දෙනාටම ආහාරපාන සපයන්නට හෝ නවාතැන් සපයන්නට සිරිපා මළුවේ ඉඩ හසරක්‌ නැතිය. ඉර සේවය ද නැරඹිය යුතුමය. එහෙත් නිරන්තරයෙන් මහගිරි දඹ නගින වන්දනාකරුවන්ට ඉඩ ලබා දිය යුතුය. සැබැවින්ම සිරිපා මළුව පාමුල අංග සම්පූර්ණ නවාතැන් පළක අවශ්‍යතාවය මතුවන්නේ එහෙයිනි. එයට සුදුසුම තැන ආඬියාමල තැන්නයි. වහල ගැලවී ගිය සෞඛ්‍ය මධ්‍යස්‌ථානයත් අම්බලමත් කඩ සල්පිල් කීපයක්‌ හැරුණුකොට වන්දනාකරුවන්ගේ සැනසුමට ලක්‌වන කිසිවක්‌ එහි නැතිය. එම නිසාම බොහෝ පිරිස්‌ එතැනින් පියමන් කොට සිරිපා මළුවටම නැගීමට ආශාවෙන් පසුවෙති.

හිsමිදිරි පාන්දර ඉර සේවය කරමින් සූර්යයා දර්ශනය වූයේය. මේ සූර්ය නමස්‌කාරය සෑම දිනකම සිදුවනවා සේ එක්‌ දිනක්‌ පමණක්‌ සමනල කන්දට මුදුන් වී එහි සිරිපා රිද්මය ස්‌පර්ශ කරයි. එම සිදුවීම සෑම වර්ෂයකම සිංහල අවුරුද්ද ආසන්නයේ එයට පෙර දිනයක සිදුවෙයි. සමන් දෙවි රජුන් මෙවැනි ආශ්චර්යමත් ස්‌ථානයකට බුදුන් වහන්සේ වැඩමවීමට කල්පනා කරන්නට ඇත්තේ එය ලංකාවේ මුදුන්මල්කඩ ලෙසට සලකා ගෙන විය යුතුය. ලංකාවාසී සැදැහැවත් බෞදAධයන් පමණක්‌ නොව විදේශිකයන් පවා මෙම ස්‌ථානය මහත් අසීරුවෙන් තරණය කරන්නේ මේ හේතුවෙනි. බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් 2600 වසර සපිරෙන මේ වර්ෂයේ සිරිපා මග තරණය කරන සෑම බෞද්ධ හදවතකම මේ අසිරිමත් සිදුවීම පුෂ්පයක්‌ මෙන් අවදි කරවීමට නම් සිරිපා සංචාරය පූජනීය වන්දනාවක්‌ බවට පත්විය යුත්තේමය. සමනල කන්දෙන් ගලා බසිනා සිවුමහා ගංගාවන්ගෙන් සමස්‌ත ශ්‍රී ලංකාද්වීපයම තෙත් කරන්නේ යම් සේද වන්දනාකරුවන්ගේ කරුණා දිය දහරින් සෑම හදවතක්‌ම නිවී සැනසීමට ලක්‌කිරීමට හැකියාව පවතින බව ද අපට මේ ගමනේදී පසක්‌ විය.


මතුගම සෙනෙවිරුවන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.