හදිසි නීතිය ඉවත් කරන්නැයි
ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

13 වැනි සංශෝධනයත් ක්‍රියාත්මක කරන්නලු


හදිසි නීතිය හැකි ඉක්‌මනින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්‌ කොට ඇත.

ඒ අතර යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉක්‌මන් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන ලෙසත්, මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන පරීක්‍ෂණ පවත්වන ලෙසත් යුද්ධය පැවැති ප්‍රදේශවල තත්ත්වය සාමාන්‍ය අතට හරවන ලෙසත් විශ්වාසදායක සංහිඳියාවක්‌ ඇති කරන ලෙසත් ඉන්දියාව ඉල්ලා ඇත.

ඉන්දියාව මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගියදා ඉන්දියාවේ තුන්දින නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා වෙතිනි.

එම සංචාරය අවසානයේදී විදේශ ඇමැති පීරිස්‌ මහතා සමඟ නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනයෙහි ඉන්දියාව මෙම කරුණු සටහන් කොට ඇත.

ජී.එල් පීරිස්‌ මහතා තම සංචාරයේදී ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං, මුදල් ඇමැති ප්‍රනාබ් මුකර්ජි, විදේශ ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා, ජාතික ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන්, විදේශ ලේකම් නිරූපමා රාවෝ යනාදීන් හමු විය.

එම ඒකාබද්ධ නිවේදනයෙහි මෙසේද සඳහන් වේ.

යුද්ධයෙන් හානියට පත්වූ කන්කසන්තුරේ වරාය, පළාලි ගුවන් තොටුපළ, රෝහල් සහ පාසල් අලුත්වැඩියා කිරීමටත්, වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථාන ඇති කිරීමටත්, යාපනය නගරයෙහි සංස්‌කෘතික මධස්‌ථානයක්‌ ගොඩනැංවීමටත්, යාපනයේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණය සහ දුම්රිය මාර්ග ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් කටයුතු යොදා ඇති බව ලක්‌ රජය සහ ඉන්දියානු රජයට පෙනී ගොස්‌ තිබේ.

ඒ අතර සාම්පූර් ප්‍රදේශයේ බාලාගාර ඉදි කිරීමටද පාර්ශ්ව දෙකම කටයුතු යොදා ඇත.

යුද්ධයෙන් පසු ලක්‌ රජය සහ ඉන්දියාව අතර ඇති වූ ගිවිසුම්වලින් ඉතිරිව පවත්නා ගිවිසුම් වන පාළාලි කන්කසන්තුරේ දුම්රිය මග ඉදි කිරීම, ඉන්දියාවෙන් ගෙන්වා ගත් නව සංනිවේදන සහ සංඥ පද්ධති පිහිටුවීම, සීපා ගිවිසුම ක්‍රියාත්මක කිරීම යානාදිය සම්බන්ධයෙන් අවසන් තීරණවලට එළැඹීමට නියමිතය.

දහතුන්වැනි සංශෝධනය මත පදනම් වූ බලය බෙදා හැරීමේ ක්‍රියාවලියක්‌ පිහිටුවීමෙන් වඩාත් විශ්වාසදායි සංහිඳියාවක්‌ ඇති කළ හැක බවටද එකඟගත්වයක්‌ ඇති විය.

ඒ අතර බලශක්‌ති අංශය සම්බන්ධයෙන් ඒකාබද්ධව ක්‍රියා කිරීමටත් රටවල් දෙක අතර ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය එකඟත්වයකට ඒමටත් තීරණය විය.

සියලු ධීවරයන්ට සමාන ලෙස සැළකීමටත්, බලය යොදා ඔවුන් මැඬපැවැත්වීමෙන් වැළකී සිටීමටත් තීරණය විය.

එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය ප්‍රතිසංස්‌කරණය විය යුතු බවටද පාර්ශ්ව දෙක අතර එකඟත්වයක්‌ ඇතිවී තිබේ. ආරක්‍ෂක මණ්‌ඩලයේ ස්‌ථාවර සාමාජිකත්වය සඳහා ඉන්දියාව සතු නීත්‍යනුකූල අයිතිවාසිකමට ද ශ්‍රී ලංකාව තරයේ සහයෝගය දක්‌වන බව එම නිවේදනයේ සඳහන්ය.

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.