බොදු බැතියෙන් දිවයිනම පිබිදෙයි


වසන්ත ලියනගේ

දෙදහස්‌ හයසිය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්‌මරණය කරමින් ඊයේ (17 වැනිදා) මුළු මහත් ශ්‍රී ලාංකීsය බෞද්ධ සැදැහැවත්හු මහත් ශ්‍රද්ධාවෙන් යුක්‌තව වෙසක්‌ ශ්‍රී මහා මංගල්‍යය සැමැරූහ.

සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 2600 ක්‌ සැපිරීම අනුස්‌මරණය කිරීම වෙනුවෙන් අනුරාධපුර අටමස්‌ථානය ඇතුළු දිවයිනේ සියලුම වෙහෙර විහාරස්‌ථානවලට එක්‌ රැස්‌වූ ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ සැදැහැවත්හු ආමිස පූජාවන්ට මුල්තැන දෙමින් දාන, ශීල, භාවනා කටයුතුවල නිරත වූහ.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගෙන් රට නිදහස්‌ කර ගැනීමෙන් පසු ඇතිවී තිබෙන සාමකාමී වාතාවරණය යටතේ උතුරු නැගෙනහිර ජනතාවද මෙම මහ වෙසක්‌ මංගල්‍යය සැමරීම සඳහා මහත් උනන්දුවෙන් එක්‌වීම මෙවර වෙසක්‌ උත්සවයේ විශේෂ ලක්‍ෂණයක්‌ විය.

වසර ගණනාවක්‌ ආරක්‍ෂක කලාපයක්‌ බවට පත්වී තිබූ උතුරු පළාත ඊයේ සිට දින හතක වෙසක්‌ කලාපයක්‌ බවට පත්කිරීමත් සමඟ එම වෙසක්‌ කලාපයේ සිරි විඳ ගැනීමට උතුරේ වැසියෝ දහස්‌ ගණනින් එහි පැමිණි බව ආරක්‍ෂක අංශ පවසයි.

ඊයේ උදැසන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදාවීමත් සමඟ වෙහෙර විහාරස්‌ථානවලින් ඇසුණු ඝණ්‌ඨාර නාදයත් සමඟ මුළු මහත් දිවයිනම බෞද්ධ ප්‍රබෝධයෙන් ඇළලී ගියේය.

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, මහනුවර ශ්‍රී දළදා මාළිගාව, ඓතිහාසික කැලණි රජමහා විහාරස්‌ථානය, කතරගම කිරිවෙහෙර, පොළොන්නරුවේ ගල් විහාරය, සෝමාවතී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ, කළුතර බෝසමිඳුන් වහන්සේ ඇතුළු දිවයිනේ පිහිටි සියලුම විහාරස්‌ථානවලට පැමිණි අටසිල් සමාදන් උවැසි උවැසියන්ගේ සිල් සුවඳින් මුළුමහත් ශ්‍රී ලංකාවම නැහැවී ගියේය.

මෙවර වෙසක්‌ පොහොය දිනයේ සිට 2012 වෙසක්‌ පොහොය දිනය දක්‌වා කාලය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසර ලෙස සැලකේ. එම වසර ප්‍රකාශයට පත්කිරීම ඉකුත් 14 වැනිදා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීsන් වහන්සේ ඉදිරිපිටදී සිදුකරන ලදී.

ඒ අනුව එම කාලය තුළදී ආධ්‍යාත්මික දියුණුවට මුල්තැන දෙමින් කටයුතු කිරීමේ අධිෂ්ඨානශීලීත්වයක්‌ ඇති කර ගැනීමද ඊයේ ඇරැඹි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අනුස්‌මරණ වෙසක්‌ පොහොයෙන් ඇරැඹිණි.

මීට අමතරව රට පුරා ජනතාව දන්සල් පවත්වමින් ද, දුගී මගී යාචකයන්ට විවිධ පරිත්‍යාග කරමින් ද, භක්‌ති ගීත සංදර්ශන පවත්වමින්ද මෙම මාහැඟි වෙසක්‌ මහෝත්සවය අර්ථවත් කර ගැනීමට දායක වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.