රටට වැඩක්‌ ඇති දූ දරුවන්
බිහිකරන තෝතැන්න දහම් පාසලයි

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීනී නීතිඥ රෝස්‌ ප්‍රනාන්දු


සිසිල් ඩැනීසියස්‌ - කටාන විශේෂ

විනයක්‌, හැදියාවක්‌, රට, දැය හා සමය කෙරෙහි ආදරයක්‌ හා කැක්‌කුමක්‌ නැති පුරවැසියන්ගෙන් මේ රටට සෙතක්‌ නෑ. රටට ඵලදායි දූ දරුවන් බිහි කරන තෝතැන්න දහම් පාසලයි. එය පන්සලෙන් හා පල්ලියෙන් සිදුවන උතුම්ම සේවාවයි. දරුවන්ගේ මනස හැදීමට පාසලේදී ප්‍රමුඛත්වය දෙනවා. දරුවන්ගේ හදවත හදා දෙවනුව ඔලුව හදන්නයි දහම් පාසල් අධ්‍යාපනය මෙරට ස්‌ථාපිත වී ඇත්තේ

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීනී නීතිඥ රෝස්‌ ප්‍රනාන්දු මෙනවිය මෙසේ පැවසුවේ කටාන ශ්‍රී වර්ධනාරාම දහම් පාසලේ වාර්ෂික දහම් පාසල් ත්‍යාග හා සහතික පත් ප්‍රදානෝත්සවයේදීය. එහිදී ඇය මෙසේ ද පැවසූවාය. අද සමාජයේ ඉහළ තනතුරු දරණ බහුතරයක්‌ දෙනා ඒ තත්ත්වයට පැමිණ තිබෙන්නේ දහම් අධ්‍යාපනය හරහායි. පන්සලේ ස්‌වාමින්වහන්සේලාගේ ඇසුර තුළිනුයි. පල්ලියේ ආභාසය මගිනුයි.

2600 වන සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් හා ඵලදායි ජයන්තියක්‌ කිරීම සඳහා පුංචි අවදියේ සිටම පන්සල ඇසුරට අපේ දූ දරුවන් යොමු කළ යුතුයි. පවුලෙන් ඒ සඳහා ප්‍රථම ආදර්ශය දිය යුතුයි. මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව අපගේ ජීවිත හැඩ ගසා ගත යුතුයි. එවිට අපිට ආඩම්බර ජාතියක්‌ වශයෙන් අභීතව නැඟê සිටිය හැකියි.

මෙම උත්සවය විහාරාධිපති ආචාර්ය කරඹේ සුමන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරස්‌ථ දායක සභාව, තරුණ බෞද්ධ සමිතිය, කුළඟන සමිතිය හා දහම් ගුරු මණ්‌ඩලය ඒකාබද්ධව සංවිධානය කර තිබුණි. මෙහි මුලසුන හෙබවුයේ කටාන බෝලගල ශ්‍රී විජයාරාමාධිපති බදුල්ලේ නන්ද හිමියන් විසිනි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.