ශ්‍රී ලාංකිකයන්ට එරටේදී ම වීසා දීමට
පිලිපීන රජය එකඟ වෙයි



ශ්‍රී ලාංකිකයනට පිලිපීනයට ඇතුළු වීමෙන් පසුව වීසා ලබාදීමට එම රජය එකඟ වී තිබේ.

එසේම දෙරට අතර යළි සෘජු ගුවන් සේවා ඇරඹීමටද තීරණය කර ඇත.

පිලිපීනයේ දෙදින නිල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා අගමැති දි. මු. ජයරත්න හා පිලිපීන ජනාධිපති බොනිග්තෝ අකීනෝ යන මහත්වරුන් අතර පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.

දෙරට අතර ආනයන - අපනයන අවස්‌ථා පුළුල් කිරීම, පිලිපීනයේ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම, දෙරට අතර ආරක්‍ෂක අත්දැකීම් හුවමාරු කර ගැනීම යන කාරණා පිළිබඳවද මෙහිදී අගමැතිවරයා සහ පිලිපීන ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත් විය.

මෙම සියලු තීරණ වලට අදාළව මසක්‌ ඇතුළත අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමටද අග්‍රාමාත්‍යවරයා සහ පිලිපීන ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල ආරාධනයද අග්‍රාමාත්‍ය දී. මු. ජයරත්න මහතා විසින් මෙහිදී පිලිපීන ජනාධිපතිතුමාට භාරදෙනු ලැබීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ පිලිපීන ජනාධිපති iii වන බෙනිග්තෝ අකීනෝ මහතා මෙසේද කීය: ශ්‍රී ලංකාවත් පිලිපීනයත් අතර ඇරඹෙන නව සබඳතාවය දෙරට අතර දීර්ඝ ගමනක ආරම්භය සනිටුහන් කෙරෙන බවයි. ත්‍රස්‌තවාදය නිමාකර ශ්‍රී ලංකාව අලුත් ගමනක්‌ දැනටමත් ආරම්භ කොට තිබේ. අපගේ රටවල් දෙක අතර සාකච්ඡා වෙමින් තිබෙන දැනට පවත්නා බලාපොරොත්තු වන ගිවිසුම් මගින් අපගේ ආර්ථිකමය සම්බන්ධතා පුළුල් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.