සම්බුද්ධත්ව ජයන්තිය සමරා
හැටන් නගරයේ පින්කම් රැසක්‌



හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

දෙදහස්‌ හයසීය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක්‌ උත්සවය සමරමින් හැටන් ප්‍රදේශයේ දන්සල්, ශීල, භාවනා වැඩසටහන් රාශියක්‌ පවත්වන ලදී.

ඊයේ (17 දා) උදැසන හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්‌ථානයට පැමිණි 2600 ක්‌ පමණ උපාසක උපාසිකාවන් සිල් සමාදන් වූ අතර ඔවුන්ට අවශ්‍ය හීල් දානය හැටන් තරුණ බෞද්ධ සංගමය හා ප්‍රදේශයේ දානපතියන් විසින් ලබාදෙන ලදී.

වෙසක්‌ පෝදින උදැසන හැටන් ප්‍රදේශයේ කිරිබත් දන්සලක්‌ද පැවැති අතර හැටන් දුම්රිය ස්‌ථානය මගින් සංවිධානය කරන ලද කඩල දන්සල, මනහර ක්‍රීඩා සමාජය සංවිධානය කරන ලද ආප්ප දන්සල මෙන්ම බත් දන්සලක්‌ද හැටන් නගරයේ පවත්වන ලදී.

මෙයට අමතරව හැටන් - දික්‌ඔය නගර සභාව මගින් සංවිධානය කරන ලද නෙලුම් මල් දන්සලක්‌ද කිරිකෝපි දන්සලක්‌ද පැවැති අතර දික්‌ඔය හා වටවල ප්‍රදේශවල බත් දන්සල්ද පවත්වන ලදී.

උදෑසන හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්‌ථානයේ සිල් සමාදන් වූ උවසු උවැසියන් පෙ.ව. 9.30 ට පමණ හැටන් ප්‍රධාන වීදිය හරහා හැටන් තරුණ බෞද්ධ සංගමය වෙත ගමන් කළ අතර එහිදී ශීල ව්‍යාපාරය පවත්වන ලදී.

මෙයට අමතරව හැටන් පොලිසිය, විවිධ සුබසාධන සමිති ද විවිධ දන්සල් පැවැත්වූ අතර ශීල ව්‍යාපාරයට එක්‌වූ 2600 කට දහවල් දානය පිරිනැමීම හැටන් ප්‍රදේශයේ සුබසාධක සමිති මගින් සිදු කරන ලදී.

වෙසක්‌ උත්සවය නිමිති කරගෙන හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය විසින් 16 වැනි දින රාත්‍රියේ පවත්වන ලද සදහම් වන්දනා බැති ගී ගායනා කාගේත් සිත් ගත්තේය. මෙම සියලු කටයුතු සඳහා හැටන් ප්‍රදේශයේ සිංහල ද්‍රවිඩ, මුස්‌ලිම් විශාල පිරිසක්‌ එක්‌වීම කැපීපෙනෙන සිද්ධියක්‌ විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.