වත්තල -මාබෝල නගර සභා මැතිවරණයේ සන්ධානයේ
ඡන්ද ගණන් කරන්න අභියාචනාධිකරණයට පෙත්සමක්‌



සරත් ධර්මසේන

වත්තල -මාබෝල නගර සභා මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කළ අපේක්‌ෂකයන්ට ලැබුණු මනාප ඡන්ද ගණන් කිරීමේදී අක්‍රමිකතා සිදුවූ බැවින් නැවත ගණන් කිරීමක්‌ සිදු කරන ලෙසට මැතිවරණ නිලධාරීන්ට නියෝගයක්‌ කරන්නැයි ඉල්ලා සන්ධානයේම අපේක්‌ෂකයෝ දෙදෙනෙක්‌ අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළහ.

ඡේ. පී. සුමුදු නයනාදරී ජයවීර හා දිනේෂ් රුක්‌මාල් අසංග පෙරේරා මෙහි පෙත්සම්කරුවෝ වෙති.

වත්තල නගර සභා මැතිවරණයෙන් ජයගත්තේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයයි. සන්ධානයෙන් මන්ත්‍රීවරු 06 ක්‌ තේරී පත්වී ඇති අතර ලැබුණු මනාපවලට අනුව පෙත්සම්කරුවන් දෙදෙනාට හිමිවී ඇත්තේ 06 හා 07 වැනි ස්‌ථානයි.

ඔවුන් කියා සිsටින්නේ මනාප ඡන්ද ගණන් කිරීමේදී මන්ත්‍රීවරුන් ලෙස තේරීපත්වීමට තරම් ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක්‌ තමන් දෙදෙනාටම ලැබී තිබුණ නමුත් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන විට ඡන්ද අඩු වී තිබුණ බවයි.

ඡන්ද ගණන් කිරීම අත්තනගල්ල පන්තලගෙදර ගුරු පුහුණු විද්‍යාලයේ කාමර 02 ක සිදු වී ඇත. ඉන් අංක 01 කාමරයේ ඡන්ද ගණන් කළ ආකාරය සැකසහිත බවත් වංචනික ක්‍රියා සිදුවූ බවත් ඔවුහු කියා සිටිති. සන්ධානයේ මනාප ඡන්ද ගණන් කර 50 මිටිවලට බැඳ තබා විවේක කාලයේදී සියලු දෙනා කාමරයෙන් එළියට ගිය බවත් නැවත කාමරයට එනවිට ඡන්ද 50 ක්‌ වැඩි වී තිබූ බවත් ඒ ගැන විපරම් කළවිට එක්‌ 50 මිටියක්‌ එකතු කිරීමට අමතක වූ බව ඡන්ද නිලධාරීන් පැවසූ බවත් අමතක වූ ඡන්ද 50 මිටිය එකතු කිරීමට විවේක කාලය එනතෙක්‌ බලාගෙන සිටියේ ඇයි ද යන්න ඔවුන්ගෙන් විමසූ බවත් යම් අක්‍රමිකතාවක්‌ සිදු වී ඇති බව පෙනීගිය නිසා නැවත ගණන් කරන ලෙස ගම්පහ දිස්‌ත්‍රික්‌කය භාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්‌වරයාගෙන් ලිතව ඉල්ලීමක්‌ කළ නමුත් එම ඉල්ලීම ඔහු එවේලේම ප්‍රතික්‍ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මැතිවරණ කොමසාරිස්‌ ගම්පහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්‌, සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රෙAමජයන්ත, සන්ධානයෙන් තරග කළ සියලුම අපේක්‌ෂකයන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

නීතිඥ උදේනිකා අබයසිරිවර්ධන මහත්මිය මගින් පෙත්සම ගොනු කර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.