පාතාල සාමාජිකයා සිරගෙදර සිට මෙහෙය වූ
කුඩු ජාවාරම හෙළිවෙයි
හෙරොයින් පැකට්‌ දහසක්‌ යතුරුපැදියකින් ගෙනයද්දී දැලේ


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ එස්‌. පී. ආරියරත්න - රත්මලාන

ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයකු බන්ධනාගාරගතව සිටිමින් ජංගම දුරකථන මාර්ගයෙන් මෙහෙය වූ හෙරොයින් ජාවාරමක්‌ පිළිබඳ තොරතුරු මත්කුඩු පැකට්‌ දහසක්‌ යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ගල්කිස්‌ස කොට්‌ඨාස දූෂණ මර්දන අංශය විසින් හෙළි කරගෙන ඇත.

අත්අඩංගුවට පත් හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් ලක්‍ෂ දෙකකට අධික වේ.

සැකකරු අත්තිඩිය මන්ත්‍රීමුල්ල පාරේ පදිංචි තිස්‌අට හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. දරුණු අපරාධ ගණනාවක්‌ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයකු බවද හෙළිවී ඇත.

මොහු දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ නියෑළී ඇති බවත්, මේ හෙරොයින් මොරටුව, ගල්කිස්‌ස, දෙහිවල යන ප්‍රදේශවලට බෙදාහැර ඇති බවත් පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරි මහතාගේ අධීක්‍ෂණය යටතේ ගල්කිස්‌ස කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මුදිත දල්පතාදු මහතාගේ උපදෙස්‌ මත නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් සැකකරු කොටු කරගෙන ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.