දරුවකු ලැබීමට සිටින නංගී බැලීමට යද්දී
අම්මාට මේ අනතුර සිදු වුණා
දියණිය සොවින් වැළපෙයි
කඩුවෙලදී ටිපර් රියට යටවී තිදරු මවක මියයැමේ සිද්ධිය



කඩුවෙල - සුගත් ප්‍රේමතිලක


"කඩුවෙල මංසන්ධියේ කහඉර අසල මම ටිපර් රථය නතර කරගෙන සිටියා. රාජකාරියේ සිටි පොලිස්‌ නිලධාරියා අතින් සංඥ කළාම මම වාහනය ඉදිරියට ගන්න හදනකොටම අවට සෙනඟ කෑ ගැසුවා වාහනය නවත්වන්න කියලා. මම ඉක්‌මනට වාහනය නවත්තලා බැහැල බැලුවාම කාන්තාවක්‌ ටිපර් රථයට යටවී සිටියා.

මුල්ලේරියාව, සිරි පැරකුම් මාවතේ පදිංචි යසරත්න ජයකොටි (42) නමැති ටිපර් රථ රියෑදුරු එසේ පැවසුවේ ටිපර් රථයකට යටවීමෙන් මියගිය මර්සි අයිරාංගනී පීරිස්‌ (43) මහත්මියගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමිනි. නවගමුව හදිසි මරණ පරීක්‍ෂක ආරියරත්න දෙනවක මහතා ඉදිරියේ මේ මරණ පරීක්‍ෂණය පැවැත්විණි. මියගිය කාන්තාව කඩුවෙල, ඉහළ බෝමිරිය පදිංචි තිදරු මවකි. ඇයගේ දියණිය වන දිනුෂා කුමාරි හා ප්‍රින්සි කැතරින් නමැති අය ද මෙහිදී සාක්‍ෂි දුන්හ.

කොටහේන ප්‍රදේශයේ සිටින සිය බාල දියණිය බැලීමට යන අතරතුර කඩුවෙල මංසන්ධියේදී ඇය මෙම අනතුරට ලක්‌ වූවාය. ඇය මීට පෙර වසර ගණනක්‌ කඩුවෙල ප්‍රාදේශීය සභාවේ ද සේවය කොට ඇත. ඇගේ ස්‌වාමිපුරුෂයා ද මීට කලකට ඉහත රිය අනතුරකින් මියගොස්‌ ඇති අතර එතැන් පටන් දරුවන් තිදෙනාට අධ්‍යාපනය දී ඇතිදැඩි කරන්නට අපමණ වෙහෙසක්‌ දැරුවාය. ඇයගේ වැඩිමහල් දියණිය තම මව පිළිබඳව මතකය අවදි කළේ මෙසේය.

අම්මා අපි ගැනමයි හිතන්නේ. නංගිගෙ ගෙදර යනවා. නංගිට දරුවෙක්‌ ලැබෙන්න ඉන්න නිසා. වාහන එළවන අය ජීවිත ගැන මීට වඩා හිතන්න ඕන. අන්තිමට අපි තනි වුණා."

නවගමුව පොලිසියේ (51925), පො.කො. ප්‍රියන්ත මහතා සාක්‍ෂි මෙහෙය වූ අතර දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි නිමල්සිරි මහතා වෛද්‍ය පරීක්‍ෂණය පැවැත්වීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.