බැංකුවේ සැකය වැරදි බව
ස්‌වර්ණාභරණ අධිකාරිය දන්වයි

සැකකරුට නිදහස - රන් භාණ්‌ඩ මුදා හැරේ


අහංගම - සුගතපාල දීයගහගේ

රන් භාණ්‌ඩ උගස්‌ කර රාජ්‍ය බැංකුවකින් රුපියල් හාරලක්‍ෂය පනස්‌ දහසක්‌ ලබාගැනීමට යැමේදී ඒවා නියම රන් ආභරණදැයි ඇති වූ සැකය මත අත්අඩංගුවට ගත් එම නඩුවට අදාළ භාණ්‌ඩ පරීක්‍ෂා කර බැලූ ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය ඒවා ව්‍යාජ නොවන බවට ඉදිරිපත් කර තිබූ වාර්තාව සැලකිල්ලට ගත් ගාල්ල ප්‍ර්‍රධාන මහෙස්‌ත්‍රාත් තාමර තෙන්නකෝන් මහතා සැකකරු නිදහස්‌ කොට භාණ්‌ඩද මුදා හැරීමට නියෝග කළේය.

මෙසේ නිදහස්‌ කරනු ලැබුවේ ගාල්ල තලාපිටියේ අබ්දුල් කාදර් මොහොමඩ් සුරේස්‌ නමැති අයෙකි.

ඔහු 2011 මාර්තු 8 වැනිදා කොග්ගල රාජ්‍ය බැංකුවට ගොස්‌ වළලු පහක්‌ සහ මාලයක්‌ උගසට තබා රුපියල් හාර ලක්‍ෂ පනස්‌ දහසක්‌ ඉල්ලා ඇති අතර එම භාණ්‌ඩ පරීක්‍ෂා කර බැලූ උගස්‌ නිලධාරිණිය ඒවා නියම රන් භාණ්‌ඩ නොවන බව පවසා පොලිසියට දැනුම්දී තිබේ.

පසුව හබරාදුව පොලිසිය පැමිණ සැකකරු සහ භාණ්‌ඩ අත්අඩංගුවට ගෙන එම භාණ්‌ඩ ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියට යවා ඒවයේ ප්‍රමිතිය පිළිබඳ වාර්තාවක්‌ ලබා ගැනීමට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව එම භාණ්‌ඩ පරීක්‍ෂා කර බැලූ ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ රන් ප්‍රමාණය නිශ්චය කිරීමේ කාර්යාංශය විසින් ලබාදී ඇති වාර්තාවේ සඳහන් වන්නේ ඒවායේ කැරට්‌ ප්‍රමාණය 14.11 (දාහතරයි දශම එකයි එකයි) වන අතර රන්වල ප්‍රතිශතය සියයට පනස්‌ අටයි දශම අටක්‌ වන බවය.

එම වාර්තාව සැළකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා එම භාණ්‌ඩ ව්‍යාජ ඒවා නොව රන් ප්‍රමාණය අඩු භාණ්‌ඩ බවට තීරණය කොට සැකකරු සහ භාණ්‌ඩ මුදා හැරියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.