පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට
එරෙහි වෘත්තීය සමිති සමුළුව 23 දා



පියසේන දිසානායක සහ අජිත් අලහකෝන්

පෞද්ගලික අංශය සඳහා යෝජිත විශ්‍රාම වැටුප් පනතට එරෙහිව අඛණ්‌ඩව දියත්කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කිරීම සඳහා මෙම 23 වැනිදා වෘත්තීය සමිති සමුළුවක්‌ කොළඹට කැඳවා ඇත.

රාජ්‍ය, අර්ධරාජ්‍ය, වතු සහ පෞද්ගලික අංශයේ සියලු වෘත්තීය සමිතිවලට අයත් නායකයින් හා නියෝජිතයින් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.

විදුලිබල මණ්‌ඩලය, ජල සම්පාදනය, වරාය, ඛනිජතෙල් සංස්‌ථාව, ගමනාගමන මණ්‌ඩලය ඇතුළු රටේ ප්‍රධාන ආයතන රැසක වෘත්තීය සමිති අඛණ්‌ඩ වැඩවර්ජනයකට යායුතු බවට යෝජනා කර තිබේ.

වෘත්තීය සමිතිවල ඉල්ලීම් නොසලකා හරිමින් ලබන 25 වැනිදා විශ්‍රාම වැටුප් සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීමට රජය සැලසුම්කර තිබෙන බව අන්තර් සමාගම සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා zදිවයිනටZ පැවැසීය.

මෙම පනත සම්මත වුවහොත් පෞද්ගලික අංශයේ සේවකයන් දැඩි අනතුරකට පත්වීම වැළැක්‌විය නොහැකි බවත් ඒ නිසා එම අනතුරට පෙර කෙසේ හෝ පනත පරාජය කරවීම වෘත්තීය සමිතිවල අරමුණ බවත් හෙතෙම කීය.

පනත සංශෝධනය කරන බව කියමින් තවදුරටත් ජනතාව මුළා නොකර එය වහා අහෝසිකර දැමිය යුතු බව වසන්ත සමරසිංහ මහතා පවසයි.

සුළු සංශෝධන සහිතව පනත සම්මත කළද ඒ දිනයේ සිටම සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල දැඩි අනතුරට ලක්‌වන බව ඒ මහතා පැවැසීය.

මේ නිසා යෝජිත විශ්‍රාම වැටුප් පනත පරාජය කර වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරදීම සඳහා වාද භේදවලින් තොරව එක්‌වන ලෙස සියලු බලවේගවලට විවෘත ආරාධනාවක්‌ කර සිටින බව වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.