ලක්‍ෂ 98 ක මුදල් වංචාවට සැක
ඇමැති ලේකම්ට කොන්දේසි මත ඇප

මාමණ්‌ඩිය 30 දා දක්‌වා රිමාන්ඩ්


ඒ. ඡේ. ඒ. අබේනායක

විදේශිකයකුට අයත් ගිණුමකින් රුපියල් අනූඅට ලක්‍ෂ පනස්‌ දහසක මුදලක්‌ වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධියේ පළමු සැකකරු වන ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යෑයි කියන බුද්ධික ජයසිංහ නමැත්තාව දැඩි ඇප කොන්දේසි යටතේ රුපියල් 6,50,000 ක මුදල් හා ශරීර ඇපමත මුදාහැරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

එම සිද්ධියේ දෙවැනි සැකකරු වුණ ඔහුගේ මාමණ්‌ඩිය (බිරිඳගේ පියා) වන ඩී. එම්. පුංචි බණ්‌ඩා නමැත්තාව මෙම 30 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත භාරයේ තැබීමටද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය. එලෙස වංචා කළ මුදල් දෙවැනි සැකකරු වන පුංචි බණ්‌ඩා නමැත්තාගේ ගිණුමකට බැරවී ඇති බව අනාවරණය කරගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කොට තිබියදී පසුගිය 4 වැනිදා නීතිඥවරයකු මාර්ගයෙන් ඔහු අධිකරණයට භාරවී තිබිණි.

අධිකරණයේ නියමයෙන් 16 දා දක්‌වා රක්‍ෂිත භාරයට පත්කොට තිබූ දෙවැනි සැකකරු මීගමුව අධිකරණය හමුවේ ගොනුකර ඇති මුදල් වංචා කිරීමේ නඩු හතරක විත්තිකරුවකු බවත් මෙතෙක්‌ අධිකරණය මගහැර සිටි ඔහුගේ නම ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් අනතුරුව එම තොරතුරු හෙළිකර ගැනීමට හැකිවූ බවත් පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුව මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එහිදී නියෝග කළාය.

රුපියල් 50,000 ක මුදල් ඇපයක්‌ හා රුපියල් ලක්‍ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක්‌ එහිදී පළමුවන සැකකරුට නියම කළ මහෙස්‌ත්‍රාත්වරිය ඔහුගේ ඇපකරුවන් දෙදෙන පවුලේ ළඟම ඥතින් විය යුතු බවත් ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරු දිනකම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පෙනී සිටිය යුතු බවත් නියෝග කළාය.

එයට අමතරව සැකකරු විදේශ ගතවීම වළක්‌වන නියෝගයක්‌ ද එහිදී නිකුත් කළ මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගයේ පිටපතක්‌ වහාම ආගමන හා විගමන පාලකවරයා වෙත යෑවීමටද නියෝග කළාය.

නීතිඥ ජයන්ත ඩයස්‌ නානායක්‌කාර මහතා හා ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විත්තිය නියෝජනය කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.