උතුරේ අතුරුදන් වූවන්ගේ අයිතීන් සුරැකීමට
"අපි ශ්‍රී ලාංකිකයෝ" සමග අන්තරේ එක්‌වෙයි


උතුරේ අතුරුදන් වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය පියවර ගෙන ඇත.

අපි ශ්‍රී ලාංකිකයෝ නමැති සංවිධානය යටතේ මෙලෙස අතුරුදන් වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී.

එහි පළමු පියවර ලෙස ඔවුන්ගේ තොරතුරු ලබාදෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක්‌ ඉකුත් 13 වැනිදා ත්‍රිකුණාමලය නගරයේ පැවැති අතර ඒ සඳහා වැන්දඹු කාන්තාවන් 150 කට අධික පිරිසක්‌ සහභාගි වූහ.

කොටි ත්‍රස්‌තවාදය පැවැති සමයේදී ආරක්‍ෂක හමුදාව විසින් අතුරුදන් කරනු ලැබූ තරුණයන් සහ විවාහක පිරිමින්ගේ තොරතුරු සොයාබැලීම සඳහා රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

ඒ සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ සභාපති උදුල් ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම උද්ඝෝෂණ කිලිනොච්චි, වවුනියා, මන්නාරම සහ යාපනයේදී පැවැත්වීමට පියවර ගනු ලබන බවයි.

නැගෙනහිර සහ යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, ලංකා ඊ නිවුස්‌ මාධ්‍යවේදී ශාන්ත විඡේසූරිය යන මහත්වරුද මේ සඳහා එක්‌ව සිටී.

යුද සමයේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ අතුරුදන් වූවන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක්‌ මේ වන විට වැලිකඩ බන්ධනාගාරයට සහ ත්‍රස්‌ත විමර්ශන ඒකකයට ලබාදී ඇති අතර ඉදිරියේදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර සහ උතුර නැගෙනහිර සෙසු කඳවුරු වෙතටද ගොස්‌ මෙම අතුරුදන් වූවන් පිළිබඳව සොයා බලන බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ පැවසුවේ අවසන් යුද සමයේදී යුද හමුදාවේ නිලධාරීන් හයදහසක්‌ පමණ මරණයට පත්වූ අතර තිස්‌ දහසක්‌ පමණ පිරිසක්‌ තුවාල ලැබූ බවත්ය.

නමුත් යුද්ධයෙන් පසු සියලු දෙනා ආරක්‍ෂක හමුදාව වෙත අතුරුදන් වූවන් පිළිබඳ චෝදනා එල්ල කරන බවත් මියගිය සහ ආබාධිත හමුදා නිලධාරීන් සහ සෙබළුන් පිළිබඳව ඔවුන් කිසිවකුත් අවධානය යොමු නොකරන බවත්ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.