මැටි පහන් හදන අපේ ජීවිත අඳුරේ!
මහයාල දේශීය කර්මාන්තය ගොඩගන්න රජයේ ආධාර ඕනෑ


මදුරාවල - ජී. කරුණාරත්න

වෙසක්‌ පොසොන් පොහෝ දින ප්‍රධානව සියලු පොහෝ දින සඳහාත් බෞද්ධ හින්දු පූජනීය ස්‌ථාන සඳහාත් සියලු පුණ්‍ය කටයුතු සඳහාත් ආලෝකය සපයන්නට මැටි පහන් නිපදවන තමන්ගේ ජීවිත මෙතෙක්‌ ආලෝකවත් වී නැතැයි මහයාල අවට වෙසෙන මැටි පහන් නිෂ්පාදකයෝ පවසති.

මැටි පහන් නිපදවන්නන් අතරින් ඇම්. චන්ද්‍රදාස මහතා මෙසේ පවසයි.

මම යාල සමුපකාර සමිතියේ කාලයක්‌ සේවය කළා. වසර 40 ක පමණ කාලයක සිට මෙම කර්මාන්තයේ යෙදී සිටිනවා. නමුත් ගැටලු රාශියක්‌ නිසා මේ කර්මාන්තය පවත්වා ගෙන යැමට අපහසුයි. ආර්ථික අපහසුතා එමටයි.

අපි හදන්නේ ආරක්‍ෂක මුට්‌ටි, මැටි පහන්, කාසි කැට, ගස්‌ මැටි පහන් වාගේ සුළු භාණ්‌ඩ පමණයි. එහෙත් අපගේ පුංචි සකපෝරුවෙන් දිනකට මැටි පහන් 500 ක්‌ පමණ නිපදවා ගන්න අමාරුයි. වෙළෙඳ පොළේ මැටි පහන් 1000 ක්‌ මිලදි ගන්නේ රු. 1000 කට. වෙසක්‌ පොහොයට පමණක්‌ සුළු ගාණක්‌ වැඩියි.

මෙම නිෂ්පාදකයන් සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලබාගැනීමේ පටන් වෙළෙඳ පොළ දක්‌වා බලපාන ගැටලු කෙළවරක්‌ නෑ. කුඹුරු ඉඩම්වල මැටි, වැලි තිබුණත් ඒවා ලබාගැනීම තහනම් කරලා. අපිs අපහසුතාවට පත්වෙලා ඉන්නේ.

මැටි අත්ට්‍රැක්‌ටර් එකකට කුඹුරු හිමියාට රු. 700 - 750 ක්‌ ගෙවන්නට ඕනේ. මැටි පදම්කර ගැනීමට ප්‍රවාහන ගාස්‌තුවලට මුදල් වැයවෙනවා. දරත් ගිනි ගණන්. මේ සියලු වියදම් බැලුවාම මැටි අත්ට්‍රැක්‌ටර් දෙකට රු. 5000 - 6000 ත් අතර වියදම් වෙනවා.

වැස්‌ස කාලයක්‌ ආවොත් මැටි පහන් පදමට වේලාගන්න බැහැ. ගංවතුර කාලයට තවත් ප්‍රශ්න. මැටිවළේ සිට වෙළෙඳපොල දක්‌වා නිෂ්පාදන ඉදිරිපත් කිරීමට මාසයක්‌ පමණ ගතවෙනවා. මගේ නිපයුම් මතුගම, අළුත්ගම වෙළෙඳපොළට යවනවා. ඒ සඳහා ප්‍රවාහන ගාස්‌තු වැයවෙනවා. නිවසට පැමිණ භාණ්‌ඩ ගෙන යන වෙළෙඳ මහත්වරුන් ඉන්නවා. හැමදාම භාණ්‌ඩ අලෙවි වන්නේ නැහැ.

මේ ගැටලු නිසා අපේ ගම්වල තරුණ තරුණියන් මේ සම්ප්‍රදායික රැකියාවට පිවිසෙන්නේ අඩුවෙන්. ඒනිසා ස්‌වයං රැකියාවක්‌ වශයෙන් මේ කර්මාන්තය දියුණු කර ගන්නට බස්‌නාහිර පළාත් සභාවේ කුඩා කර්මාන්ත අංශයෙත් රජයේ කුඩා කර්මාන්ත අංශයෙත් අවධානය යොමු කරන්නේ නම් දේශීය කර්මාන්ත ආරක්‍ෂා කර ගනිමින් ගමේ කර්මාන්ත සංවර්ධනය කළ හැකියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.