ඉහ මොළ ඇති අයට නොපෙනුන
වලව්වත්ත පුවක්‌කොට පාලම



ඡායාරූප හා සටහන - අරුණ පලොල්පිටිය තිහගොඩ

කඹුරුපිටිය, පලොල්පිටිය වලව්වත්ත පාලම මතින් වසර ගණනාවක්‌ පුරා ජනතාවට එහා මෙහා යැමට සිදුව ඇත්තේ පුවක්‌ කොටන් ආධාරයෙනි. මේ නිසා ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

කඹුරුපිටිය හා තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශ සීමාවේ පිහිටා ඇති කිරම ආර හරහා මෙම පුවක්‌ කොටන් පාලම ඉදිවී ඇත. බොහෝ අවස්‌ථාවලදී මේ පාලමෙන් ගඟට වැටී ජනතාවට අනතුරු පවා සිදුවී තිබේ. එහෙත් තවමත් මෙය දේශපාලනඥයන්ගේ ඉටු නොවූ පොරොන්දුවක්‌ පමණක්‌ බවට පත්වී ඇත.

මේ ගැන අදහස්‌ දැක්‌වු පලොල්පිටිය ගමේ වැසියකු වන සමන් රුවන්පතිරණ මහතා,

මේ පාලම ගැන වසර ගණනාවක්‌ පුරාම ජනතාවට බොරු පොරොන්දු දීලා දේශපාලනඥයන් මේ ප්‍රදේශයේ ඡන්ද ටික කොල්ලකා ගෙන යනවා.

මේ විදියට වසර ගණනාවක්‌ පුරා මේ ප්‍රශ්න ප්‍රශ්නයක්‌ ලෙසම ගලාගෙන ඇවිත් තිබෙනවා. අද වන විට මේ පාලම ආධාර කොට ගෙන පලොල්පිටිය විටියල ගම්මාන දෙකම එක්‌ කරන කෙටි මාර්ගය වශයෙන් මේ වලව්වත්ත පාලම හඳුනාගත හැකිය.

ගම්වැසියකු වන ලක්‍ෂ්මි රාජපක්‍ෂ මෙසේ කීවාය.

මේ ප්‍රදේශයට ඇති බරපතලම ගැටලුව තමයි මේ පාලම හරියට නැති එක. පාලමට පුවක්‌ කොටන් පවා සොයා ගන්නේ බොහෝම අමාරුවෙන්. ඒ නිසා මේ පාලම කැඩුනත් නැවත තනාගැනීමට නොහැකි තත්ත්වයක්‌ තමයි තියෙන්නේ. වගකිවයුතු අයගෙන් අපි ඉල්ලා සිටින්නේ අලුත් පාලමක්‌ ඉදි කොට දෙන ලෙසයි.

ගම්වැසියකු වන වයි. කේ. ඇන්විත් මහතා - මේ පාලමේ යැම පවා ඉතාම අවදානම් තත්ත්වයකයි තියෙන්නේ. බොහෝ ස්‌ථාන පවා අද වන විට දිරා ගිහින්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකම දෙපැත්තට කඹ අදිනවා මිසක්‌ ප්‍ර්‍රශ්නයට විසඳුමක්‌ දෙන්නේ නෑ. අපි ඉල්ලා සිටින්නේ අලුත් පාලමක්‌ දෙන ලෙසයි.

අද වන විට පලොල්පිටිය ජනතාව සිය ආගමික කටයුතු සිදු කිරීමට යාපගිරිය විහාරස්‌ථානයට ගමන් කරන්නේද මෙම පාලමෙනි. එහෙත් අද මේ ගමනාගමන කටයුතුවලට ඇතිවී ඇති බාධාව හේතුකොට ගෙන දැඩි ගැටලු රැසක්‌ වර්ධනය වී ඇත. නමුත් තවමත් බලධාරීන් මුනිවත රකිති...!

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.