එරගම - කොළනාවලී හන්දියේදී ගල්ඔය
ක්‍ෂේත්‍ර නිලධාරීහු පිරිසක්‌ හා ගොවීහු ගැටෙති



දඩයම්තලාව - පී. ජයසිංහ සහ අම්පාර - සුසන්ත අමරබන්දු

අක්‌කරපත්තුව අම්පාර ප්‍රධාන මාර්ගයේ එරගම කොළනාවලී මංසන්ධිය අසල ප්‍රදේශයේදී පෙරේදා (16 දා) කුඹුරු ගොවීන් පිරිසක්‌ හා ගල්ඔය වැවිලි සමාගමකට අයත් ක්‍ෂේත්‍ර නිලධාරීන් පිරිසක්‌ අතර ඇතිවූ ගැටුමකින් වැවිලි සමාගමේ සේවකයෝ පිරිසක්‌ හා ගොවියකු තුවාල ලබා ඇත.

ගල්ඔය වැවිලි සමාගමට අයත් ඉඩම්වල කාලයක්‌ වී වගාව කළ කුඹුරු ගොවීන්ට එම ඉඩම්වල උක්‌වගාව කිරීමට දැනුම් දී තිබූ බව වැවිලි සමාගමේ නිලධාරියෙක්‌ පැවසීය.

එහෙත් උක්‌ වගා කිරීමෙන් ලාභයක්‌ නැති බව කියමින් උක්‌වගා කිරීමට අකැමැති ගොවීහු බිම් සකස්‌ කර වී වපුරා තිබිණි. එම කුඹුරු ඉඩම් ට්‍රැක්‌ටර් යන්ත්‍ර යොදාගෙන උක්‌ වගා කිරීම සඳහා බලෙන්ම සී සෑමට ගියවිට මෙම ගැටුම සිදු විය.

දහවල් කාලයේදී ගොවීන් සියයකට වැඩි පිරිසක්‌ පැමිණ ප්‍රධාන මාර්ගයේ ටයර් පුළුස්‌සා වාහන ධාවනයට අවහිර කරමින් විවිධ වැකි සහිත පෝස්‌ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක යෙදී සිටියහ.

මෙහිදී එරගම ගොවි සංවිධානයේ සභාපති එම්. එල්. අබ්දුල් මහතා අදහස්‌ දක්‌වමින් මෙසේ කීය.

අපේ සින්නක්‌කර ඉඩම් අරගෙන බදු ක්‍රමයට උක්‌ වගාව කරන්න ඉඩම් ලබා දුන්නා. ඒවායේ වසර 30 ක්‌ උක්‌ වගාව කළා. හිඟුරාන සීනි සමාගමෙන් ඉල්ලා අස්‌වූ අයටත් ඉඩම් ලබාදුන්නා. අපි උක්‌ වගාව කළත් පාඩු සිදු වුණා.

දැනට ගල්ඔය වැවිලි සමාගම කර්මාන්ත ශාලාව අරගෙන වසර 04 ක්‌. ඒත් කර්මාන්ත ශාලාවේ වැඩ ආරම්භ කර නැහැ. අපි උක්‌ වගාව කළත් ප්‍රතිඵලයක්‌ නෑ. හෙක්‌ටයාර් එකකින් ලක්‍ෂ ගණන් පාඩු සිදු වුණා. දිසාපතිතුමා කීවේ උක්‌ වගාව කරන්න. වී වගාව කරන්න එපා කියලා. අපේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දුන්නේ නෑ. අපි උක්‌ වගාව කරන්න කැමැතියි. ඒත් කර්මාන්ත ශාලාව ගැන අපට විශ්වාසයක්‌ නෑ. ගිය කන්නයේ වී වගාව කරලා ලක්‍ෂ ගණන් පාඩු සිදුවුණා. ඒ නිසා අපිට මේ කන්නයේ පමණක්‌ වී වගාව කරන්න අනුමැතිය ලබා දෙන්න. මුඩු ඉඩම් තිබියදී අපි වී වගා කළ කුඹුරු හෑවා. ඒකට විරෝධය දක්‌වනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.