බිනුදි තව දුරටත් දිනවන්න
හිතවත් අතක්‌ දෙන්න!



ලෝවෙන් එකෙක්‌ එක්‌ දෙයකට වෙයි සමත"යි ජනවහරේ කියෑවෙයි. කිසියම් කර්තව්‍යයකට පුද්ගලයකු විසින් දක්‌වන්නා වූ සහජ දක්‍ෂතාව අරභයා ගොඩ නැගෙන ලද මෙම ප්‍රස්‌ථා පිරුළ බොහෝ විට වත්මන් සමාජයට ගැලපෙන මෙන්ම නොගැලපෙන අවස්‌ථාද ඇත. එහෙත් එම අවස්‌ථා විරළය. ඉහතින් සඳහන් කළ ප්‍රස්‌ථා පිරුළ දුරට පුස්‌සක්‌ බවට පත් කළ අයෙකු පසුගියදා දිවයින ක්‍රීඩා අංශයට පැමිණියාය.

කොළඹ විශාකා විදුහලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය නමින් බිනුදි සෙනරත් යාපාය. උපතේදීම එක්‌ කර්තව්‍යයකට පරිබාහිරව දක්‍ෂතා රැසක්‌ කැටි කොටගෙන සිටින ඇය මේ වන විට ශ්‍රී ලංකාවේ යොවුන් චෙස්‌ කණ්‌ඩායමේ අංක 1 චෙස්‌ ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නීය.

චෙස්‌ ක්‍රීඩාවට අමතරව ජිම්නාස්‌ටික්‌ සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන්ද ජාතික තලයේ ජයග්‍රහණ වාර්තා කර ගැනීමට ඇය සමත්ව සිටින්නීය. එමෙන්ම ගීත ගායනයටද සුවිශේෂී දක්‌ක්‍ෂතා දක්‌වනු ලබන ඇය පියානෝ වාදනයද ප්‍රගුණ කරගනිමින් අවස්‌ථා කිහිපයකදීම එම අංශ දෙකෙන්ද ජයග්‍රහණ ඇත.

චෙස්‌ ක්‍රීඩාවට දක්‌වනු ලබන විශේෂ දක්‍ෂතාව මත ඇය එයට වැඩි ප්‍රමුඛතාවක්‌ දෙනු ලබයි. චෙස්‌ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක්‌ ලබා සිටින බිනුදි එම අංශයෙන් ශ්‍රී ලංකාවේ අනාගත බලාපොරොත්තුවක්‌ බවට පත්ව සිටින්නීය. ඒ ඇය ඇය පාසල් පන්ති මට්‌ටමින් ලද ජයග්‍රහණ වලදී නොව ජාතික සහ ජාත්‍යන්තර මට්‌ටමින් සහභාගි වූ යොවුන් චෙස්‌ තරගාවලිවලදී ලද ජයග්‍රහණ හේතුවෙනි.

මෙම වසරේදී පැවැති ජාතික යොවුන් චෙස්‌ තරගාවලියේදී වයස අවුරුදු 10 න් පහළ වයස්‌ කාණ්‌ඩයෙන් තරග කර ඇති ඇය එහිදී ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය. ඇය විසින් දක්‌වන ලද අදාළ දක්‍ෂතාව මත ඇයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් චෙස්‌ තරගාවලියට සහභාගිවීමට මග පෑදිණ. බිනුදි එම අවස්‌ථාව උදාකර ගත්තේ පළමු වතාවට නොව පිට පිටම තෙවැනි වතාවට වීමද තවත් විශේෂත්වයකි. ඒ අනුව ඇය අදාළ තරගාවලියට සහභාගිවීම පිණිස පිලිපීනයේ මැනිලා නුවරට මේ වන විටත් පිටත්ව ගොස්‌ අවසන්ය.

පසුගිය 2009 වසරේදී තුර්කියේදී පැවැති ලෝක යොවුන් චෙස්‌ තරගාවලියේදී ලෝකයෙන්ම හොඳම ක්‍රීඩිකාවන් 15 දෙනා අතරට පැමිණී පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වීමට බිනුදි සමත්වූවාය.

අවසන් වරට පැවැති චෙස්‌ තරගාවලිවලදී ඇය දක්‌වා ඇති දක්‍ෂතා මත මෙම වසරේ නොවැම්බර් මස බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක යොවුන් චෙස්‌ තරගාවලියට සහභාගිවීමේ අවස්‌ථාවද මේ වන විටත් ඇය උදාකරගෙන අවසන්ය.

මාතර සුජාතා විදුහලේ ඉගෙනුම ලබමින් චෙස්‌ ක්‍රීඩාවට අවතීර්ණ වී ඇති ඇය එහිදී දක්‌වන ලද දක්‍ෂතා මත කොළඹ විශාකා විදුහලට පැමිණීමට වරම් ලබා ගත්තාය.

2009 වසර වන විට යන්තම් වයස අවුරුදු 8 සීමාවට පැමිණි ඇය එම වසරේදී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති ආසියානු යොවුන් තරගාවලියේදී බාලිකා ලෝකඩ පදක්‌කම දිනා ගත්තාය. එමෙන්ම මොරටුව විශ්විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන මෝර කිංග්ස්‌ චෙස්‌ තරගාවලිය, කොළඹ චෙස්‌ තරගාවලිය මෙන්ම අධිවේගී යොවුන් චෙස්‌ තරගාවලියේදී ශූරතා දිනා ගැනීමට බිනුදි සමත්වී සිටින්නීය.

සී. ඒ. එස්‌. යාපා මහතා සහ එස්‌. ඒ. සිඟානෙත්ති මහත්මිය බිනුදිගේ ආදරණීය දෙමව්පියෝ වෙති. වෘත්තියෙන් රජයේ සේවකයන් දෙදෙනකු වන බිනුදිගේ දෙමාපියන් හැකි සෑම අවස්‌ථාවකදීම තම දියණියගේ ක්‍රීඩා කටයුතුවලට සහයෝගය දක්‌වනු ලබන නමුත් විදේශ සංචාරවලට සහභාගිවීමේදී විශාල වියදම් දැරීම ඔවුන්ට මුහුණදීමට සිදුව තිබෙන විශාලම අභියෝගය වේ. ඒ අනුව බිනුදිගේ ක්‍රීඩා දිවියට අනුග්‍රාහකයකුගේ සහය බලාපොරොත්තු වන බවද මෙහිදී බිනුදිගේ පියා වන යාපා මහතා දිවයින හමුවේ පැවැසීය. එවැනි අනුග්‍රාහකයකු ඉදිරිපත් වන්නේ නම් පාසල හරහා පැමිණ ඒ සඳහා සම්බන්ධවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

බිනුදිගේ ක්‍රීඩා දිවියේ ප්‍රථම ගුරුවරුන් ලෙස වනිගබදු ගුරුතුමා කටයුතු කර තිබේ. අනතුරුව අකිල මිරාඡ්, ප්‍රසන්න කුලකුලසූරිය මෙන්ම කේ. ඩී. ආර්. පීරිස්‌ යන ගුරුවරුන් ඇයගේ ක්‍රීඩා දිවියේ මඟ පෙන්වන් ලෙස කටයුතු කර තිබේ.


චමිල කරවිට

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.