මම පොළවේ පය ගහලා ඉන්න ගැහැනියක්‌
නිල්මිණි තෙන්නකෝන්

මට දැන් දුක්‌වෙන්න කියලා දෙයක්‌ නැහැ

දූ දරුවෝ ටෙලි නාට්‍යයේ දීප්තිගේ චරිතයට පණ පොවමින් තම නිළි ජීවිතයේ විවිධ චරිත රඟපාමින් ප්‍රේක්‍ෂකයන්ට සමීප වූ නිල්මිණි තෙන්නකෝන් චිත්‍රපට කිහිපයකටද තම රංගන ප්‍රතිභාව තිළිණ කළ තැනැත්තියකි.

වර්තමානයේ රංගන ශිල්පිනියක්‌ යන චරිතයට අමතරව නිල්මිණි තෙන්නකෝන් රූපලාවන්‍ය ශිල්පිනියක්‌ හා නිවේදිකාවක්‌ ලෙසත් ප්‍රේක්‍ෂකයන්ට සමීපව සිටිනවා යෑයි පැවැසීම අතිශයෝක්‌තියක්‌ නොවෙයි. පසුගියදා අප නිල්මිණි මීවිත වෙනුවෙන් කතා බහකට සම්බන්ධ කර ගත්තා.

කොතනින්ද අපි කතා බහ පටන් ගත්නේ

ඕනෑම තැනකින්

නිල්මිණි ගැන කතා කළොත්

මම පොළවේ පය ගහලා ඉන්න ගැහැනියක්‌.

ඔබ වඩා ස්‌ථාවර

මම නිළියක්‌ විදිහට රංගනයෙන් මෙන්ම ආර්ථික අතිනුත් ශක්‌තිමත්.

නිළියක්‌ වීම රූපලාවන්‍ය වෘත්තියේ නියෑලෙන්න අමතර වාසියක්‌ නේද?

මම රූපලාවන්‍ය ශිල්පය හැදැරුවා. මම එය වෘත්තියක්‌ ලෙස 1993 දී පටන් ගත්තා. විවිධ හේතූන් නිසා එය නවතා දැමුවා. දැන් ආයෙත් පටන් අරගෙන කරගෙන යනවා. මෙහිදී මම ලැබෙන මුදලට වඩා කෙනෙකු ලස්‌සන කරලා විශාල සතුටක්‌ ලබනවා.

ඔබේ පුංචි කාලේ ගැන කතා කළොත්.

මගේ පියා මං පුංචි කාලේමයි නැතිවෙලා තියෙන්නේ. ඒ අතින් මම හරිම දුප්පත් කෙනෙක්‌.

ඔබේ දියණියටත් පිය සෙනෙහස අහිමිද?

මම කිව්වනේ මම පුංචි කාලේ මගේ පියා මට අහිමි වුණා. මගේ දියණියටත් ඒ දේම සිදුවුණා. මාධ්‍ය ඉදිරියේ මට බොරු කියන්න බැහැ. එක බොරුවක්‌ වහන්න බොරු දහයක්‌ කියන්න වෙනවා. මට බොරු කියන්න බැහැ. මගේ දියණියටත් පිය සෙනෙහස දැනෙන කාලයක්‌ ඒවි.

අද සමාජයේ ගැහැණියකට තනිවම ජීවිතයට මුහුණ දෙන්න අපහසුයි නේද?

ආර්ථික ශක්‌තියක්‌ තියෙන ආත්ම ශක්‌තියක්‌ තියෙන ගැහැණියකට සමාජයේ එල්ල වෙන අභියෝග ජයගත හැකියි. පිටස්‌තරයකුගේ රැකවරණයක්‌ අවශ්‍ය නැහැ. නමුත් මම හිතනවා යහපත් පිරිමියෙකුගේ ආදරය රැකවරණය ලබන ගැහැණියක්‌ හරිම වාසනාවන්තයි කියලා.

ඔබ ජීවිතයේ විවිධ අත්දැකීම් අභියෝගවලට මුහුණ දුන්න තැනැත්තියක්‌. අද ජීවිතය ගැන කතා කළොත්.

අද මම මගේ ජීවිතය ගැන සතුටුයි. මට දැන් දුක්‌වෙන්න කියලා දේවල් නැහැ. සමහර දේවල් එහෙම වුණාමත් එක අතකට හොඳයි කියලා හිතෙනවා. අද මම අම්මා කෙනෙක්‌ විදිහට මගේ දුවත් එක්‌ක සතුටින් ජීවත් වෙනවා. අපි ජීවිතය විඳිය යුතු මිසක්‌ විඳවන්න ඕන නැහැ නේද?

ඔබ හරි සංවේදී කෙනෙක්‌ කියලා සමහර අය කියනවා.

ඒක හරි. මට මගේ දෙමාපියන්ගේ ආදරේ ලැබුණාට පස්‌සේ මට හොඳ ආදරයක්‌ ලැබුණේ නැහැ. මගේ මේ සංවේදීකම නිසා සමහර අවස්‌ථාවලදී මට පාඩු සිද්ධ වෙලා තියෙනවා.

වෙලාවකට ඔබ නපුරුයි කියලා මට හිතෙනවා.

නපුරුයි කියන එකයි සැරයි කියන එකයි දෙකක්‌නේ. ඒ දෙවිදිහටම වඩා වෙනස්‌ දෙයකින් තරහා එනවා කියන එක නේද?

මට අසාධාරණය බොරුව පෙනෙන්නට බැහැ. එහෙම අසාධාරණයක්‌, බොරුවක්‌ කරා කියලා දැනුනාම මට තරහා එනවා. අසාධාරණයට බොරුවට කෑ ගැහැව්වයි කියලා ඒක නපුරුකම කියලා හඳුන්වන එක වැරැදියි නේද?

ඔබ දැන් නිවේදිකාවක්‌ නේද?

දෙරණ නාලිකාව සිත්මල් යාය සඳහා මාව තෝරා ගත්තේ රංගන ශිල්පිනියක්‌ නිසයි. මම එහිදී නිවේදිකාවක්‌ ලෙස පෙනී සිටිනවා. නමුත් සමහර දුක්‌ විඳින ගැහැනුන්ගේ කතා අහන කොට නිල්මිණි කියන ගැහැණිය මතුවෙනවා.

ඒත් සමහර නිළියන් නිතරම කැමරාව ඉදිරියේ අඬන බව අපි වර්තමාන ටෙලි නාට්‍යය තුළින් දකිනවා.

වරදවා වටහාගන්න එපා. කැමරාවක්‌ ඉදිරියේ රඟපාන නිළියකගෙයි නිවේදිකාවකගෙයි භූමිකාව දෙකක්‌. ඇත්තම කිව්වොත් සිත් මල් යාය වැඩසටහන කතා කරන අපේ කාන්තාවන්ගේ දුක්‌බර කතා අහන කොට මගේ නිළිකම, නිවේදිකාව කියන භූමිකා යටපත් වෙලා නිල්මිණි කියන ගැහැණිය මතුවෙනවා.

තනිවුණ ගැහැණියක්‌ මේ සංකීර්ණ සමාජ රටාව තුළ කොහොමද ජීවිතය ගත කළ යුත්තේ

අපිට හිතන්න මනසක්‌ තියෙනවා. හොඳ නරක ගැන කල්පනා කරන්න මොළයක්‌ තියෙනවා. ශක්‌තිමත් අතපය තියෙනවා. මොකක්‌ හරි හැකියාවක්‌ තියෙනවා. එහෙම ගැහැණියකට ආත්ම ශක්‌තියක්‌ තියෙනවා. අවශ්‍ය වන්නේ මේ සියල්ල නුවනින් විමසා බලා තීරණවලට එළඹීමයි. ඕපදූප කතා කිරීම නවතලා නැහැ බැහැ හැකියා තමන්ට පුළුවන් දෙයින් යමක්‌ හරි හම්බ කරගෙන මහන්සි වීම හා ඊට ආත්ම ශක්‌තියකින් ජීවිතයට මුහුණ දීමයි. සමාජය විවිධ කතා කියයි. ඒවා ගණන් ගත යුතු නැහැ. තමන්ගේ හිතේ පිරිසිදු කම හා ආත්ම ශක්‌තිය තියේනම් ගැහැණියක්‌ වට්‌ටන්න බැහැ. නිල්මිණිගේ නව ලිපිනය නිල්මිණි බියුටි සැලෝන්, නො. 2/161/ හයිලෙවල් පාර, නුගේගොඩ.


සුගත් ශාන්ත මොරගහකුඹුර
පින්තූර - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.