අත්තනෝමතික ප්‍රවාද වෙළඳපළෙහි
කලාව හා සෞන්දර්යය පැකට්‌ කිරීම


මේ මෑතක එක්‌තරා ලේඛකයෙක්‌ පුවත්පතකට ලිපියක්‌ සපයමින් මතු සාරාංශ කර ඇති ප්‍රවාදය අවධාරණය කළේය. "ශ්‍රී ලාංකේය මානව ශාස්‌ත්‍ර සඳහා, මහැදුරු සරච්චන්ද්‍ර හැර දැනට කිසිවෙක්‌ දායක වී නැත. වර්තමානයේ ශාස්‌ත්‍ර වන්තයෝ නැත්තාහ. වත්මනෙහි මහැදුරු සුනිල් ආරියරත්න ඇරුණු කොට විවිධ වපසරිවල ගැවසුණු අන් ශාස්‌ත්‍රවන්තයෙක්‌ නැත. මේ ලේඛකයා මහැදුරු සරච්චන්ද්‍රගේ සිංහබාහු, මනමේ වැනි නාට්‍ය නරඹා ඇති බව ඔහු දිගින් දිගට කියන විස්‌තර අනුව හැඟේ. ඒ හැර මහැදුරු සරච්චන්ද්‍රගේ වෙනත් ශාස්‌ත්‍රීය කෘති ගැන ඔහුට දැනුමක්‌ ඇති නැති බවක්‌ නොහැඟේ. එසේම මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත රචකයකු ලෙස ඔහුගේ අගැයීමට ලක්‌වනු විනා එතුමාගේ වෙනත් ශාස්‌ත්‍රීය කාර්ය ගැනද ඒසා ඔහු දැන සිටින බව ඔහු පවසන විස්‌තර අනුව සිතාගත නොහැකිය. ඔහු නඟන ප්‍රවාදය විස්‌තාරණය වන්නේ මතු දැක්‌වෙන කරුණුද ඈ¹ ගනිමිනි. ඔහුට අනුව ශාස්‌ත්‍ර වන්තයකු නම් ඔහු නාට්‍ය කළ යුතුය. ගී ලිවිය යුතුය. සරච්චන්ද්‍රත්, සුනිල් ආරියරත්නත් හැර ඒ ලේඛකයා මානව ශාස්‌ත්‍ර ක්‍ෂේත්‍රයේ නොයෙක්‌ ඉසව් නියෝජනය කරන අනෙක්‌ කිසි වෘද්ධකර හෝ තරුණ. නොහොත් මැදිවියේ සිටින විද්වතුන්, ලේඛකයන්, නිර්මාණකරුවන් ගැන නොදැන සිටී.

මහැදුරු සුනිල් ආරියරත්නයන්, වත්මනෙහි ශාස්‌ත්‍රීය හා නිර්මාණාත්මක ඉසව් රැසක්‌ නියෝජනය කිරීම ගැන කිසිදු වාදයක්‌ නැත. විහිළුවට කරුණ වන්නේ මේ ලේඛකයා දන්නා සීමිත පරාසය උපයෝගී කරගෙන ඔහු බසින පටු අධානග්‍රාහී නිගමනයයි. සරච්චන්ද්‍රලා වත්මනෙහි නොමැති නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙනයන වෘත්තීය අරගලයට සමාජය සංවේදී නැතැයි ඔහු දකියි. මේ ලිපිය, එකී වෘත්තීය අරගලය පිළිබඳ ලියවෙන්නක්‌ නොව ඇතැම් පටු මතධාරීන් නොදන්නා කිසියම් සංකීර්ණ අංශයක්‌ වඩා සුපැහැදිලි කිරීම් වස්‌ ලියෑවෙන්නකි. එංගල්ස්‌ගේ "Dialectic of the Nature" කෘතියෙහි හේගල්ගේ අදහසක්‌ උපුටා දක්‌වා ඇත. එනම් "හරය ගැන සෙවීමේදී සෑම දෙයක්‌ම සාපේක්‍ෂය" යන්නයි. මානව ශාස්‌ත්‍ර, කලාව, සෞන්දර්යය හෝ විචාරය පිළිබඳ සරසවි ආශ්‍රයෙහි සිදුවන පරිණාමික සංසිද්ධිදාමයේදී මහැදුරු සරච්චන්ද්‍ර යනු එක්‌ යුගයක හමු වූ මඟ සලකුණකි. ඔහුද සාපේක්‍ෂ තත්වයෙහි විනා නිරපේක්‍ෂ (නොවෙනස්‌ ස්‌ථාවර) තත්ත්වයෙහි ලා කථා කිරීම විද්වතෙකුට තරම් නොවේ. මහැදුරු ආර්. ඩී. ගුණරත්නගේ "සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා" කෘතියෙහි එක්‌ තැනක මහාචාර්ය සරච්චන්ද්‍ර ලියා ඇති එදාටත් වඩා වත්මනට උචිත ප්‍රකාශයක්‌ උපුටා දක්‌වා ඇත".

"කලාව මෙන්ම ශාස්‌ත්‍රඥානයද වෙළෙඳපොළට දමා ඉල්ලීම හා සැපයීම යන න්‍යායෙන් තක්‌සේරු කිරීම, ඒ දෙකම බාල්දුවන කාර්යයකි."

වර්තමානයේදී විශ්වවිද්‍යාලවල වෙළෙඳපොළ වටිනාකම් සහිත විෂයයන් ඉගැන්වීම හෝ පවත්නා විෂයයන්ගේ ස්‌වභාවික අඬු දඬු කප්පාදු කර ඊනියා වාණිජ ඉලක්‌ක සඳහා කෘත්‍රිමව සකස්‌ කිරීමකට කැස කැවීමක්‌ සිදුවන බව පෙනේ. එවන් අධ්‍යාපන මුදලාලිවරුන්ද චුයිම්ගම් සපන්නා සේ විශ්වවිද්‍යාල ගැන මුව විවර කරන්නේ "සරච්චන්ද්‍රලා වගේ අය අද නෑ" යන මුග්ධ ගිරා භාෂණය තෙපළීමෙනි. මහාචාර්ය ආර්. ඩී. ගුණරත්නගේ පෙර සඳහන් කෘතියේ තැනක ඔහු ඉංග්‍රීසි බසින් මෙසේ දක්‌වයි.

"As a lecturer in Modern Sinhala,
Sarachchandra taught and wrote on
elements of aesthetics".

නූතන සිංහල විෂයේ නොයෙක්‌ අංශ ගැන සරච්චන්ද්‍ර මහතා ඉගැන්වූයේ හා ලිවූයේ සෞන්දර්ය පදනමක්‌ තුළ බව ඉන් කියවේ. සරච්චන්ද්‍ර ගැනම අවධාරණය කරමින්, නූතන සරසවි ඇදුරන්ට හා ඔවුන් ලියන කියන විෂයයන්ට වාණිජ මුහුණුවරවල් යෝජනා කරන ඇතමුන් පිළිබඳ මම මෙසේ අනුමාන කරමි. යම් හෙයකින් සරච්චන්ද්‍ර මහතා අද සිටියේ නම්, මේ වාණිජ තැරැව්කරුවන් විසින් මුලින්ම වාණිජ කරණය වනු ඇත්තේ සරච්චන්ද්‍රයන්ය. ඔහුගේ මනමේ හෝ සිංහබාහු කිසිදු වාණිජ ඉංගික නැති කලාත්මක නිර්මාණ වේ. එහෙත් මනමේ හා සිංහබාහු සඳහා නිතිපතා විශාල ප්‍රේක්‍ෂක පිරිස්‌ රැස්‌වෙති. ඉන් ලද හැකි ආදායම ව්‍යංගයෙන් එහි කියෑවේ. මෙහිදී මහැදුරු සරච්චන්ද්‍රගේ නිර්මාණ හා එහි ලාභ පාඩු ගැන මගේ වාදයක්‌ නැත. මට කීමට අවශ්‍යවන්නේ වර්තමාන වෙළඳපළේ කලාව, සෞන්දර්යය හා සංස්‌කෘතිය අසුරනවල බහා විකිණිය හැකි බවය. සරසවි අධ්‍යාපනයත්, එහි කේන්ද්‍ර වූ ශාස්‌ත්‍රීය සංස්‌කෘතියත් මනමේ හෝ සිංහබාහු මිල කළ හැකි තක්‌සේරුවට වඩා ඉහළ ලංසුවකට මිල කළ හැකි බව මේ මුදලාලිවරු වටහාගෙන සිටිති. ඔවුන් මේ වලිකන්නේ ඒ කාරියටය.

මේ යුගය, ඉන්දියානු ඉපැරණි ලෝක කැලැන්ඩරය අනුව කෘත, ත්‍රේතා, ද්වාපර යන යුග ඔස්‌සේ පැමිණ මේ ඇරඹී ඇත්තේ කලියුගයේ 5011 වන වර්ෂයයි. කලි යුගය පිළිබඳ ලාක්‍ෂණික විභාගයක්‌ කරන ඉන්දීය දාර්ශනිකයෝ එය ඉන් පෙර යුගවල පරිහරණය වූ ඇතැම් වටිනාකම්, න්‍යායයන් හා ක්‍රියාත්මක හර පද්ධතීන් කලියුගය තුළ ජඩ අරමුණු වෙනුවෙන් වේශ්‍යා වෘත්තියෙහි යෙදවෙන බව කියති. ප්‍රවාද 2001 අප්‍රේල්-ජුනි කලාපයක ඉතිහාසය නැවත කියවීම නමින් පළවූ ප්‍රවේශයේ තැනක, ඉතිහාසය යනු දැනුම් සම්භාරයක්‌ සේම බල සම්බන්ධතා ජාලයකැයි අවධාරණය කර ඇත.

ඉතිහාසයේ තැන් තැන්වල, ධම්ම සොණ්‌ඩක සමාජ හා දහම්සොඬ මිනිසුන්ද රජවරුන්ද ජීවත් වී ඇත. එබඳු තත්ත්ව සංස්‌කෘතික ආකෘතීන් හෝ පිළිගැනීම් (an
authoritative standard) බවට පරිණාමය වී තිබේ. කලි යුගයේදී කෙරෙන්නේ, අතීතයේ පැවැතියා යෑයි ප්‍රවාදගත වූ ඒ සත්ගුණවත් ආකෘතිය ආයුධයක්‌ ලෙස පරිහරණය කිරීමය. නවගුණ වැල, අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ලකුණු සිහිකරමින් භාවනාව සඳහා යොදාගන්නා ආදර්ශයකි. එයම නයිලෝන් නූලකින් සකසා යමෙකුගේ ගෙල සිරකිරීමටද භාවිත කිරීමේ ඉඩ හසර පවතී. ජෝන්ක්‌ලිµර්ඩ් හෝල්ට්‌ (Johnclifford Holt) මහතා විසින් Sri
Lankan Journal of Humanities 1991/92 කලාපයට "To word a theory of Ritual and
Violence" නමින් ලිපියක්‌ ලියනු ලැබිණි. ඔහු එක්‌ තැනක මෙසේ කියයි.

"Relationship between religious
expression and political behaviour in Sri
Lanka belie two different Philosophical
orientations".
"ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රකාශන විලාසය හා දේශපාලන චර්යා අතරැති අන්තර් සබඳතාව එකිනෙකට වෙනස්‌ (වැරදි අර්ථ මතුවන) දාර්ශනික මූලයන් දෙකකි".

අප රටේ දේශපාලනඥයන්ගෙන් බහුතරය ප්‍රසිද්ධ කථාවලදී ඉතා ලාභදායක ලෙස උපයෝගී කරගන්නා සංකල්ප නම් ආගමික සංකල්පය. ඔවුහු කරුණව, දයාව, මුදිතාව, පරාර්ථ චර්යාව ගැන දෙසති. එසේ දෙසා, වේදිකාවෙන් බැසීමට පවා පෙර, අදාළ දේශපාලනඥයා සිය අමාත්‍යාංශයේ සම්මත කළ, බොහෝදෙනකු ව්‍යසනයට පත්කරන පනතක්‌ ගැන ආරංචි වීමට පුළුවන. එසේත් නැතිනම්, යම් දේශපාලනඥයෙකු යම් ප්‍රතිඥවක්‌ දැනටම ඉටුකර ඇත්තේ, පන්සිය පනස්‌ ජාතකයේ අහවල් බෝසතා මෙන් යෑයි, තමාවම උපමා කරගනිමින් කථාවක්‌ පවත්වා වේදිකාවෙන් බැස යත්ම, එකී පුද්ගලයා දැනටම අදාළ අංශය කාබාසිනියා කර ඇතැයි යන්න එහි සැබෑ තත්ත්වය වීමට බැරි නැත. "Ritual violence" හෙවත් අභිචාරාත්මක හිංසනය යනු එයයි. හිපලයිට්‌ තයින් (hippolite tain) කී පරිදි යම් කලා කෘතියක්‌ පහළ වන්නේ අදාළ යුගයේ වෙසෙන මිනිස්‌ වර්ගයා කාල අවධිය හා තත්පරිසරය යන සාධක මතය. එය කාලයාගේ ඇවෑමෙන් තුඩ තුඩ ප්‍රවාදයක්‌ වන අනුක්‍රමය එරික්‌ ඉලයප්පාරච්චි දකිනුයේ මෙසේය.

(1) මූලික යථාර්ථය පිළිබඳ ප්‍රතිබිම්භය.

(2) මූලික යථාර්ථය සැඟවීම හා විපර්යාස කිරීම.

(3) මූලික යථාර්ථය නැතිවීම.

(4) කවර යථාර්ථයක්‌ සමඟ වුව සැබෑ නොවූ පාරිශුද්ධ ආභාසන රූපයක්‌ ඇතිවීම.

මනමේ හා සිංහබාහු හරියට විශ්ලේෂණය කළ හොත් ඒවා දැනට ඉහත කී (4) වන අවධියේ පසුවන බව වැටහේ. උඩින් මත්තෙන් බලන්නෙකුට පේරාදෙණි සරසවිය යෑයි කී පමණින් සිහිවන්නේ සරච්චන්ද්‍රය. ඒත් මේ වනවිට සරච්චන්ද්‍ර මහතා ග්‍රහණය කළ ලෝකයේ හැඩතල වෙනස්‌ වී ඇත. මනමේ හෝ සිංහබාහු නැරඹීම යනු සූවිසිවිවරණය හෝ අරියවංශ දේශනාව ඇසීමට එදා සමාජය ගිය ගමනට සමානය. ශාස්‌ත්‍ර පීඨවල විවිධ ආචාර්යවරුන් තම ආචාර්ය උපාධි පර්යේෂණ ඇතුළු නොයෙක්‌ පර්යේෂණ ඉසව් අළලා පොත්පත් රැසක්‌ ලියා තිබේ. ඒවා මේ සමාජයේ සෑම දෙනකුටම, සිංහභාහු හෝ මනමේ මෙන් ග්‍රහණය නොවේ. ඒවා ඒ සියල්ලන් විසින් කියවිය යුතු යෑයි ප්‍රඥප්තියක්‌ පැනවීමද නිරර්ථකය. වැදගත්ම දෙය නම් කිසිවක්‌ නොසොයා, නොදැන ප්‍රකටව දන්නා දෙයක්‌ හෝ කීපයක්‌ පමණක්‌ අල්වාගෙන අධිකාරී භාෂණ නොපැවැත්වීමට තරම් විනීත වීම අප කාටත් යහපත එළවන චර්යාවක්‌ වනු ඇත. අප උත්සුක විය යුත්තේ, දැන් දැන් සරසවිය යන ආයතනය, විද්යුත් මාධ්‍ය සඳහා පිටපත් ලියන්නවුන් පුහුණු කිරීම, රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීම, රහස්‌ පරීක්‍ෂකයන් හෝ ශරීරාරක්‍ෂකයන් පුහුණු කර ඩිප්ලෝමා දීම වැනි ශාස්‌ත්‍රය වේශ්‍යා වෘත්තියෙහි නොයොදවන ගරු කටයුතු බුද්ධි කෝෂ්ඨාගාරයක්‌ ලෙස ආරක්‍ෂා කරගැනීම කෙරෙහිය.

ආචාර්ය සාලිය කුලරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.